ණයට ගැනීමෙන් – විකිණීමෙන් මිදී – අපි ලෝකයට වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් විය යුතුයි

166

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක – දකුණු කොරියාවේ තේගු නගරයේ ජනහමුවකදී කියයි

අපේ අනාගත පරම්පරාව ලෝකයට හුදු ශ්‍රමිකයන් වෙනුවට ලෝකයට අවශ්‍ය වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් කළ යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

දකුණු කොරියාවේ තේගු නගරයේ එක්ස්කෝ ශාලාවේ පසුගියදා පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද කීය.

ණයට ගැනීමෙන් - විකිණීමෙන් මිදී - අපි ලෝකයට වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් විය යුතුයි

අපි දන්නවා අපේ රටේ ජනතාවගෙන් බොහෝ දෙනෙක් විදෙස්ගතව රැකියාවල නිරතවෙමින් සිටිනවා. අපේ රටේ විදෙස්ගත වෙන කණ්ඩායමේ ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. එකක් රට ඇතුලෙත් යම් සමාජ තත්වයක් තිබෙන රැකියාවක් තිබෙන ආදායම් මාර්ගයක් තිබෙන එහෙත් අනාගතය පිළිබඳ අවිශ්වාසයක් තිබෙන පිරිස. ඒ වගේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර තමන්ගේ අධ්‍යාපනයේ ඊළඟ පියවර සඳහා විදෙස්ගත වෙන ශ්‍රී ලාංකිකයන් ඉන්නවා. ලංකාවේ වැඩිම විදෙස්ගත වී සිටින ප්‍රමාණය තමයි, ලංකාව තුළ තමන්ගේ හැකියාව, දැනුම තමන්ගේ ශ්‍රමය යොදවලා තමන්ට තමන්ගේ පවුලට ස්ථිරසාර ආර්ථිකයක් ගොඩනගා ගැනීමේ හැකියාවක් නොමැති පිරිස. විවාහ වීමට බලාපොරොත්තු තරුණයන්, විවාහ වීමට සූදානම් වී සිටියත් විවාහ වී ජීවිතය ගතකරන්නේ කොහොමද කියන ප්‍රශ්නයට මුහුණ දෙනවා. විවාහ වුණු තරුණයා නිවසක් තනා ගන්නේ කොහොමද? ආදායම් මාර්ගයක් හදාගන්නේ කොහොමද? දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන්නේ කොහොමද? කියලා නිසි ආදායම් මාර්ගයක් නොමැතිකමින් පෙළෙනවා. ඒ නිසා මා හිතනවා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් වැඩිම පංගුව ඉන්නේ ලංකාව තුළ තමන්ට නිසි ආදායම් මාර්ගයක් හදා ගැනීමට නොහැකි නිසා තමන් වෙනුවෙන් තමන්ගේ පවුල වෙනුවෙන් යම් ආදායම් මාර්ගයක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් විදෙස්ගත වූ පිරිස. දකුණු කොරියාවේ මේ ඉන්න පිරිසෙන් වැඩිම පිරිස ඉන්නේ ඒ අය. තමන් ඉපදුනු ගම, තමන්ගේ ඥාතීන්, තමන්ගේ පවුල තමන්ගේ දරුවා, තමන්ගේ පරිසරය මුළුමනින්ම අත්හැර ධීවර කර්මාන්තයේ, ඉදිරිකිරීම් කර්මාන්තයේ, නිෂ්පාදන කර්මාන්තයේ ශ්‍රමය වගුරන රැකියාවකට දකුණු කොරියාවට එන්න සිදුවෙලා තිබෙනවා. අපේ රටේ ආණ්ඩු, පාලකයින් සමත් වුණේ නැහැ, හැකියාව, දැනුම, ශ්‍රමය මව්බිම තුළ රඳවාගෙන මව්බිම

ගොඩනැගීම සඳහා වන වැඩපිළිවෙළක් සකස් කිරීමට. අද අපේ රටේ තරුණ පරම්පරාවට තෝරා ගැනීමට සිදුවී තිබෙන දේ තමයි කුමක් හෝ වෙනුවෙන් රට අත්හැර යෑම. පාස්පෝර්ට් කාර්යාලයේ පෝලිම්වල සිටගෙන, කොරියන් භාෂා පන්තිවල ඉගෙන ගෙන, විදෙස් කාර්යාංශයේ නිදිමරාගෙන පෝලිම්වල සිටගෙන සිටින ආකාරය පසුගිය කාලයේ අපි දුටුවා. දිනූ මව්බිම වැදූ මව මෙන් රකින්න කිවුවාට අපේ දරුවන්ට දිනූ මව්බිමට ආරක්ෂාවත් ජීවිතයත් දෙන්න නොහැකි වී තිබෙනවා. අපේ තරුණ පරම්පාරාව අපේ රටට බරක් වෙලා. ඒ නිසා මව්බිම අත්හැර යෑමට පොළඹවනවා.

ලෝකයේ තව අවුරුදු 10කින් 15කින් වෙළඳපොළට අවශ්‍ය භාණ්ඩ මොනවාද යන්න ගැන පරීක්ෂණ කර තිබෙනවා. දැවැන්ත කර්මාන්ත ඒ හා සම්බන්ධ නිෂ්පාදන ජාලයක් හැදෙන්න ඕනෑ. දැවැන්ත ව්‍යවසායකයෝ හැදෙන්න ඕනෑ. අපේ අනාගත පරම්පරාව ලෝකයට හුදු ශ්‍රමිකයන් වෙනුවට ලෝකයට අවශ්‍ය වෘත්තීයවේදීන් බිහිකරන රටක් බවට පත් කළ යුතුයි. ලෝකයේ නව වෙළඳපොළට අවශ්‍ය වන දියුණු ශ්‍රමිකයන් නිර්මාණය කළ යුතුයි. අපි ලෝකයට අවශ්‍ය දැනුම සහිත වෘත්තීයවේදීන් බිහිකරන ආණ්ඩුවක් හදනවා. අපි ඔක්කෝම වෙහෙසෙමු. මහන්සි වෙමු. අපි විඳින දුක අපේ දරුවන්ට අත්පත් නොවන රටක් අපි හදමු.

advertistmentadvertistment
advertistmentadvertistment