ලෝක උරුම 8ක් ඇති – ශ්‍රී ලංකාවේ එක ජාතික උරුමයක්වත් නෑ

232

ශ්‍රී ලංකාවේ මේ වනවිට ලෝක උරුම ලෙස ස්ථාන 8 ක් ප්‍රකාශයට පත් කර ඇතත් ජාතික උරුම ලෙස කිසිවක් ප්‍රකාශයට පත් කර නැති බව ජාතික උරුමයන් සුරැකීම උදෙසා වූ පාර්ලිමේන්තු සංසදයේදී එහි සභාපතිවරයා අනාවරණය කර තිබේ.

එමෙන්ම රටේ කවර හෝ ස්ථානයක පුරා වස්තූන්ට හානි කිරීමකදී ඒවා අදාළ අංශ වෙත ක්ෂණික දැනුම් දීමට දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් වහා ඇති කිරීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ දෙලක්ෂ පනස් දහසකට අධික පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් පුරා වස්තූන් පවතින බවත් මේ මොහොත වනවිට වාර්තා කර ඇත්තේ ඉන් දාහත් දහසකට අධික පුරාවිද්‍යාත්මක වස්තූන් ප්‍රමාණයක් පමණක් බවත් සංසදය හමුවේ කරුණු දක්වමින් ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් එහිදී පවසා තිබේ.

ජාතික උරුම සුරැකීම වෙනුවෙන් ඒ සඳහා ස්ථාපිත වී ඇති සියලු ආයතන ඒකාබද්ධව නියාමන ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාව ද ස්වේච්ඡා සංවිධාන ප්‍රධානීන් විසින් සංසදය හමුවේ කරුණු දක්වමින් අවධාරණය කරන ලදී.

ජාතික උරුමයන් සුරැකීම උදෙසා ක්‍රියාත්මක වීම පිණිස වන පාර්ලිමේන්තු සංසදයේ සිවුවැනි සභාවාරය පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍යපාද ඉඳුරාගාරේ ධම්මරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය පූජ්‍යපාද මැදගොඩ අභයතිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙන්ම පුරාවිද්‍යා ක්‍ෂේත්‍රය තුළ ස්වේච්ඡාවෙන් කටයුතු කරන සංවිධාන නියෝජනය කරමින්, මතුගම සෙනෙවිරුවන්, වෛද්‍ය වසන්ත බණ්ඩාර, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සේනරත් බණ්ඩාර දිසානායක, වෛද්‍ය ගාමිණී ජයවීර, මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය, සුනිල් චන්ද්‍රකුමාර, එස්. කේ. සේනානායක යන මහත්වරුන් ද සහභාගි වූහ.
රනිල් ධර්මසේන/ අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment