කැන්ගරුවෝ ඉන්දියාව හඬවති

408

2023 ක්‍රිකට් ලෝක කුසලානය

කෝටි 143 ක ජනතාව හඬවා ඔස්ට්‍රේලියාව කෝටි 133 ක් දිනයි

අවසන් තරගයේ වීරයා ට්‍රේවිස් හෙඩ්

තරගාවලියේ වීරයා කෝලි

ලොව වැඩිම ජනගහනයක් වෙසෙන රට ලෙස වාර්තා තබා ඇති සත්කාරක ඉන්දියාව (බිලියන 1.43 ක් හෙවත් කෝටි 143 ක්) හඬවා 2023 ලෝක ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය කිරීමට ඔස්ට්‍රේලියාව ඊයේ (19 වැනිදා) සමත් වූයේය.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවැති අවසාන මහා තරගයෙන් කඩුලු 6ක පහසු ජයග්‍රහණයක් ලබාගත් ඔස්ට්‍රේලියාව ඊයේ දිනා ගනු ලැබුවේ ඔවුන්ගේ ලෝක කුසලාන මල්ලේ 6 වැනි ලෝක කුසලානයයි.

කැන්ගරුවෝ ඉන්දියාව හඬවති

මීට පෙර ලෝක කුසලාන 5 ක මිහිර විඳ තිබූ ඔස්ට්‍රේලියාව මෙවර අවසාන මහා තරගය සඳහා පිවිසියේ ලෝක කුසලාන තරගාවලි 13 ක ඉතිහාසයේ 8 වැනි වතාවටය.

ඒ අනුව ලෝක කුසලාන ක්‍රිකට් පිටියේ වඩාත් සාර්ථකම කණ්ඩායම ලෙස විරුදාවලි ලැබ සිටි ඔස්ට්‍රේලියාව සිය කීර්තිමත් ලෝක කුසලාන චාරිකාව ඊයේ අවසාන මහා තරගයෙන් ලද ජයග්‍රහණයත් සමග තවත් දිගු කිරීමට සමත් වූයේය.

ඊයේ තරගාවලිය ද ඇතුළුව පසුගිය ලෝක කුසලාන තරගාවලි 10න් 6 කම ශූරයෝ කැන්ගරුවෝ වෙති.

එහෙත් සිව්වැනි වරට අවසන් මහා තරගයකට පිවිසි ඉන්දියාවට දෙවෙනි වරටත් අනුශූරයන් වීමට සිදු වූ අතර ඔවුන්ගේ ලෝක කුසලාන ජයග්‍රහණයන් සංඛ්‍යාව තව දුරටත් අවස්ථාවන් දෙකකට පමණක් සීමා කිරීමට ඔස්ට්‍රේලියානුවෝ සමත් වූහ.

ඉන්දියාවේ අහමදාබාද්හි පිහිටි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ලක්ෂයකට වැඩි ප්‍රේක්ෂක ජනතාවගෙන් නිල් පාටට හැරී තිබියදී ඇරැඹි ඒ තරගයේ පැවැති ජයඝෝෂා අවසානයේ සෝ සුසුම් බවට පත්විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියා කණ්ඩායමේ නායක පැට් කමින්ස් පළමුව පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළ අතර ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා නියමිත පන්දු වාර 50 තුළදී ලකුණු 240 කට දැවී ගියහ.

ඒ අනුව ශූරතාවයට හිමිකම් කීම සඳහා ලකුණු 241ක ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියාව පන්දු වාර 43කදී කඩුලු 4 ක් දැවී එම ඉලක්කය හඹාගොස් ශූරතාවයට හිමිකම් කීය.

ඔස්ට්‍රේලියා ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ට්්‍රටේස් හෙඩ් පන්දු 120 කදී ලකුණු 137 ක් ලබා ගත් අතර ඊට හතරේ පහර 15ක් සහ 6 පහර 4 ක් අන්තර්ගත වූයේ ය.

ජයග්‍රහණයට ලකුණු 2 ක් මෙපිටින් තිබියදී හෙඩ් දැවී ගියේ අවසන් මහා තරගයේ වීරයා සම්මානයට උවමනාවටත් වඩා සුදුසුකම් සපුරා තිබිය දී ය.

හෙඩ් ට අනගි සහායක් ලබාදුන් මානස් ලැබුෂේන් පන්දු 110 කදී නොදැවී ලකුණු 58 ක් ලබා ගත් අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාව ඉක්මවීමට ඉන්දියානු පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගයේදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාර්ක් කඩුලු 3 ක් දවා ගත් අතර පැට් කමින්ස් සහ ජොස් හේසල්වුඩ් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වූහ. දඟ පන්දු යවන්නන් වූ ග්ලේන් මැක්ස්වල් සහ ඇඩම් සම්පා එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ඉන්දීය කණ්ඩායමේ පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී මන්දගාමී ඉනිමක නිරත වූ ලෝකේශ් රාහුල් ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර පන්දු 107කදී ලකුණු 66 ක් ලබා ගත් ඔහු අර්ධ ශතකය වාර්තා කිරීමට පන්දු 86ක් වැය කර තිබුණි.

ලෝක කුසලාන තරගාවලියක අඛණ්ඩව ලකුණු 50 සීමාව 5 වැනි වරටත් ඉක්මවා ගිය විරාත් කෝලි ලකුණු 54 ක් ලබා ගැනීමට සමත් වූයේය. මීට පෙර පැවැති 2019 ලෝක කුසලාන තරගාවලියේ දී ද කෝලි එම දස්කම ප්‍රදර්ශනය කර තිබූ අතර ඔහුට අමතරව ස්ටීව් ස්මිත් 2015 වසරේදී එක දිගට ලකුණු 50 සීමාව 5 වතාවක් ඉක්මවා ගොස් තිබුණි.

කැන්ගරුවෝ ඉන්දියාව හඬවති

කෝලි මෙම තරගයේ ලබාගත් අර්ධ ශතකය සහ අවසන් පූර්ව තරගයේ ලබාගත් ශතකයත් සමග ලෝක කුසලාන තරගාවලියක එවැනි දස්කමක් කළ 7 වැනි ක්‍රීඩකයා බවට පත්වූයේය

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක රෝහිත් ශර්මා පන්දු 31 කදී වේගවත් ලකුණු 47 ක් ලබා ගත් අතර ඒ සඳහා 6 පහර 3 ක් සහ 4 පහර 4ක් එල්ල කිරීමට ශර්මා සමත් වූයේය.

ආරම්භක පිතිකරු සුබ්මන් ගිල් ලකුණු 4 කට පිටියෙන් ඉවත් කරමින් කඩුලු දඩයම ඇරඹූ ස්ටාර්ක් මෝදි පිටියට රැස්ව සිටි ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ ඝෝෂාව එක්වරම නිහඬ කිරීමට සමත් වූයේය.

අනතුරුව ශර්මා සහ කෝලි දෙදෙනා ලකුණු 76 ක් වන තෙක් ඉන්දීය ඉනිම ගොඩනඟා තිබියදී මැක්ස්වල් විසින් ශර්මා දවා ගැනීමෙන් පසුව ශ්‍රෙයාස් අයියර් ද ලකුණු 4 කට දැවී යෑම ඉන්දීය පිලට මහත් පාඩුවක් වූයේ ය.

කෙසේ වෙතත් දැවී යන විට ඔහු මෙවර තරගාවලිය තුළ ලකුණු 597 රැස්කර තිබූ අතර එය ලෝක කුසලාන තරගාවලියක නායකයකු රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවේ එකතුව වේ.

කැන්ගරුවෝ ඉන්දියාව හඬවති

තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට ලෝක ක්‍රිකට් කුසලානය සහ ඇමෙරිකානු ඩොලර් මිලියන 4 ක මුදලක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 133 ක්) තිළිණ වශයෙන් හිමි වූ අතර අනුශූරතාවය දිනූ ඉන්දියාවට එම තෑගි මුදලින් හරි අඩක් හිමිවුණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment