විත්තිකරුවෝ 3 ක් වසර 18කට පසු නිදහස් – සාක්‍ෂි අසත්‍ය බව අනාවරණය වෙයි

391

ලොජ් එකක සේවකයකු ඝාතනය කිරීමේ සිද්ධිය:

කොළඹ අලුත්කඩේ ප්‍රදේශයේදී නේවාසික පහසුකම් සපයන නවාතැන්පළක (ලොජ්) සේවය කරමින් සිටි සේවකයකු පිහියකින් ඇන ඝාතනය කිරීමේ චෝදනාව යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවන් තිදෙනකු සිද්ධිය වී වසර 18 කට පමණ පසු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියෝග කළේය.

පැමිණිල්ලේ ප්‍රධාන සාක්‍ෂිකරු ලෙස ඉදිරිපත් කොට තිබූ සාක්‍ෂිකරු ලබාදුන් සාක්‍ෂිවල පැවැති බලවත් පරස්පරතා අනුව ඔහු ලබාදුන් සාක්‍ෂිය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා සෙසු සාක්‍ෂිකරුවන් ලබාදුන් සාක්‍ෂි අනුව ද විත්කිකරුවන් එම අපරාධය සිදුකළ බවට පැමිණිල්ල සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකොට නොමැති බවට නිගමනය කර එම තීන්දුව නිකුත් කළේය.

හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු වන තමාට හෙරොයින් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු හතරක් සම්බන්ධයෙන් සිරදඬුවම් විඳින අයකු බව ස්වෙච්ඡාවෙන්ම පෙන්වා දෙමින් සාක්‍ෂි ලබාදීම ආරම්භ කොට තිබූ ලාල් කුමාර හෙවත් ලාල් නමැති පැමිණිල්ලේ පළමු සාක්‍ෂිකරු එම නඩුවේ එක් විත්තිකරුවකු එකී මරණකරුට පිහියෙන් අනින අයුරු දුටු බව ප්‍රකාශකොට තිබුණත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක විජේවර්ධන මහතා නැඟූ හරස් ප්‍රශ්නවලදී එලෙස නොදුටු බව පවසා තිබිණි.

සියලු සාක්‍ෂි විශ්ලේෂණය කළ විනිසුරු නවරත්න මාරසිංහ මහතා මොහොමඩ් ෆාරුක් ඉනාමුල් හසන්, අබ්දුල් හම්සි මොහොමඩ් ඉම්රාන් හා මොහොමඩ් රෆායිඩීන් මොහොමඩ් ඉර්ෆාන් නමැති විත්තිකරුවන් එලෙස නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment