විදුලිය බිඳ වැටුණොත් අපි නැහැ – විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය

237

* යුගදනව් පැවරීමට එරෙහි සටන ඉදිරියට

* අපේ ඩියුටිය පැය 8ක් විතරයි


කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් සහ එල්.එන්.ජී. ඒකාධිකාරය ඇමෙරිකානු  සමාගමකට ලබාදීමට එරෙහිව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය ඉදිරියට ගෙන යමින් සේවාමුර අවසන් වීමෙන් පසු සිදුවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමෙන් වැළකී සිටීමට ද තීරණය කර තිබේ.

මේ අනුව බලාගාර ආශ‍්‍රිත ඉංජිනේරුවන් සමාන්‍ය පරිදි රාජකාරිවල නිරතවන බවත්, අනෙක් ඉංජිනේරුවන් පෙරවරු 8.30 ත් සවස 4.15 ත් අතර කාලයේ සිය රාජකාරි කිරීමටත්, ඉන්පසු ඇතිවන විදුලි බිඳවැටීම් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවත් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රටෙන් හතරෙන් එකකට විදුලිය විසන්ධි වෙමින් පසුගිය 29 දා රාත‍්‍රි ඇති වූ විදුලි බිඳවැටීම කිසිම කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් නොවන අතර එය තාක්‍ෂණික දෝෂයක් මත ඇති වූ දෙයක් බවත් තම සංගමයේ සාමාජිකයන් මැදිහත් වී යථා තත්ත්වයට පත්කළ බවත් කුමාරවඩු මහතා කීය. ඒ සම්බන්ධයෙන් තම සංගමයට සොයාබැලීමක් අවශ්‍ය නොවන බවත් ඕනෑම විමර්ශනයක් සිදුකර සොයාගැනීම බලධාරීන්ගේ වගකීමක් බවත් ඔහු කීය.

විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය වෘත්තීය ක‍්‍රියාමාර්ගයකට එළඹ තිබෙන්නේ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව අත්සන් කර තිබෙන නීති විරෝධී ගිවිසුමක් අහෝසි කරගන්නා ලෙස බල කරමින් බව පැවසූ ඒ මහතා එය කිසිසේත් ආපස්සට නොගන්නා බවත්, ජයග‍්‍රහණයෙන් තොරව එය අවසන් නොකරන බවත් කියා සිටියේය.

විදුලිබල මණ්ඩලයේ විදුලි ඉජිනේරුවන් 839 ක් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයට සහය පළකරමින් විදුලි ඉංජිනේරු සංගමය සමඟ ඒකාබද්ධ වී සිටින බව ද ඔහු පැවසීය. සාධාරණ ඉල්ලීමක් සඳහා එක්වී සිටින නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන් දෙදෙනකුට ස්ථානමාරුවීම් ලබාදී තිබෙන බවත්, ඔවුන් එය පිළිනොගැනීම නිසා විදුලිබල මණ්ඩල බලධාරීන් ඔවුන් අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කර ඇති බවත් කුමාරවඩු මහතා කීය.

විදුලි බල මණ්ඩලයේ කෙටිකාලීන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා තනතුරුවලට පත්ව සිටින නිලධාරීන්ට මේ රටේ ජාතික ආරක්‍ෂාව සහ එල්.එන්.ජී. ඒකාධිකාරය වෙනත් රටක් යටතට පත්කිරීමට ඉංජිනේරු සංගමය ඉඩ නොදෙන බවත්, ඇමරිකානු සමාගම සුදුසු සමාගමක් නම් ටෙන්ඩරයට ඉදිරිපත් නොවුණේ මන්ද යන්න රට හමුවේ ප‍්‍රකාශ කරන ලෙසත් කුමාරවඩු මහතා ඉල්ලා සිටියේය.

විදුලි ඉංජිනේරුවන් සවස 4.15 න් පසු නිවසට යෑමෙන් පසුව වුවත් විදුලි බිඳවැටීමක් සිදුවුවහොත් පැය 24 පුරා සිය රාජකාරියේ යෙදීමට සිටින නිලධාරීන් නිසා ඕනෑම වේලාවක රාජකාරියට පැමිණි බව ද ඔහු කීය. මින් පසු එවැනි හදිසි අවස්ථාවක රාජකාරියේ නිරත නොවන බව ද ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment