විධායකය අහෝසිය සහ ඡන්ද ක්‍රමයේ වෙනස දේශපාලන ගුණ්ඩුවක් ද?

467
විධායකය අහෝසිය සහ ඡන්ද ක්‍රමයේ වෙනස දේශපාලන ගුණ්ඩුවක් ද?

මේ වනවිටත් ලොවම කම්පාවට පත්ව සිටින ඊශ්‍රායල් – පලස්තීන ම්ලේච්ඡ සංහාරය දෙස නොබලා අපට ද ලංකාවේ සමාජ ආර්ථික දේශපාලනය පිළිබඳ කතා කළ නොහැකිය. මෙම බරපතළ සමාජ ඛේදවාචකයෙහි ගොදුරු බවට පත් වූ අහිංසක ජනතාවගේ දුක්බර විලාසයන් මෙන්ම ඔවුන්ගේ විලාප හා සුසුම් ද විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට ද දැක බලා ගත හැකි වී තිබේ. එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට හෝ ජගත් මානව හිමිකම් සංවිධාන කිසිවකට කිසිදු බලපෑමක් කළ නොහැකි 21 වන සියවසේ මානව ඛේදවාචකය අපට පෙන්වා දෙන්නේ මහා බලවතුන් ලෙස පෙනී සිටින ලෝක නායකයන්ගේ බල අරගලයේම අඳුරු පැත්තකි. ඇමෙරිකාව, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය මෙන්ම කැනඩාව ද මෙම මානව සංහාරය සඳහා ඊශ්‍රායලයට දක්වන අනුග්‍රහය සැඟවිය නොහැක. මේ ලෝක බලවතුන්ගේ අධිපතිවාදී දේශපාලන බලහත්කාරකම්වල පීඩනය අපට ද දැනුණු අතර තවමත් එහි ප්‍රතිචාර එහෙම පිටින්ම අඩු වී නැති බව ද අපි දනිමු. දැනට වාර්තා වී තිබෙන අන්දමට ලොව මාධ්‍ය ආයතන කීපයකටම අයත් මාධ්‍යවේදීන් දහසකට වැඩි සංඛ්‍යාවක් ද මේ අමානුෂික ප්‍රහාරවලට ලක්ව මියගොස් සිටිතියි ද වාර්තා වේ.

ආරම්භයේ සිටම ඇමෙරිකාවේ ආශිර්වාදය ලැබුණු ඊශ්‍රායලය බිහිවන්නේ ම පලස්තීනය දෙකඩ කරමින් ය. ලංකාව ඊශ්‍රායලය සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාර ද ඒ ඒ යුගවල ආණ්ඩුවල අභිමතය පරිදි වෙනස් වූවකි. එ.ජා.ප.යේ නිර්මාතෘ ඩී. ඇස් සේනානායක ඊශ්‍රායලය පිළිගනිද්දී ශ්‍රී.ල.නි.ප. නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ඊශ්‍රායල සබඳතා ප්‍රතික්‍ෂේප කර ඇත. පසුව එ. ජා. ප. නායක ඩඩ්ලි සේනානායක ද ඊශ්‍රායලය සමඟ තානාපති සබඳතා ආරම්භ කර ඇත. එහෙත් සිරිමා බණ්ඩාරනායක විසින් යළිත් ඊශ්‍රායල තානාපති කාර්යාලය පවා හරවා යවනු ලැබ ඇත. යළිත් ඊශ්‍රායල සබඳතා ගොඩනැගෙන්නේ ද එ.ජා.ප. නායකයකු වූ ජේ. ආර්. ජයවර්ධන බලයට පත්වීමත් සමඟ ය. එසේ වුවද රණසිංහ ප්‍රේමදාසට ද මේ ඊශ්‍රායල් සබඳතා අරුචි විය. කුමක් වුවත් චන්‍ද්‍රිකා කුමාරතුංග යුගයේදී යළිත් ඊශ්‍රායලය අපේ ආණ්ඩුව විසින් පිළිගන්නා ලද රටක් බවට පත්විය. ඊශ්‍රායලයේ යම් යම් දායකත්වයන් ද ලංකාවේ එල්.ටී.ටී.ඊ. ගැටුම් උත්සන්නව පැවති දිනවල ලබා ගෙන ඇති බව ද කවුරුත් දනිති. එසේම මහින්ද රාජපක්‍ෂ පලස්තීන විමුක්තිය වෙනුවෙන් ද පෙනී සිටි බව ද අපට මතකය.

මෙසේ බටහිර නායකයන්ගේ ද අනුග්‍රහය ලද ඊශ්‍රායලයට මැද පෙරදිග නායකයන්ගෙන් කිසිම අනුබලයක් නොලැබීම ද විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙවර උද්ගත වූ ඊශ්‍රායල් පලස්තීන ගැටුම සම්බන්ධයෙන් වූ විශ්ලේෂණ සියල්ලේ ම හරය වන්නේ ද වසර 75කට පසු ඊශ්‍රායලයට අතිශය ඛේදජනක ප්‍රහාරයක් එල්ල වන තුරුම ඔවුන් නිදා සිටි බවය. මේ වනවිට ඒ ප්‍රහාරයේ අමිහිරි වේදනා දරාගනිමින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යානු පවසන්නේ හමාස් සංවිධානය දූවිලි බවට පත්කරන වගය. එහෙත් එහි අනිටු විපාක ලෙස කොපමණ සංඛ්‍යාවකට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවනු ඇද්ද? විනාශ වී යා හැකි භෞතික සම්පත්වල වටිනාකම අමතක කළත් එය පොදුවේ මානව ශිෂ්ටාචාරයක ම්ලේච්ඡතම ප්‍රහාරයක් බව අමතක කළ නොහැක. අපට දැනෙන එකම කරුණ නම් මැදපෙරදිග කලාපය පමණක් නොව ලංකාව ඇතුළු බොහෝ රටවල්වලට ද මේ යුද ගින්දර ශාපයක් විය හැකි බවය. බලවතුන්ගේ යුදකාමී මනසත් බල අරගලයත් ලෝකයේම අහිංසක ජනතාවට මාරක තර්ජනයක් බව ය.

කෙසේ හෝ මේ වනවිට චීනයේ නිල සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද රටින් බැහැරව යෑමට පෙර කොළඹ පැවති සමුළුවකදී මෙම ඊශ්‍රායල් – හමාස් යුද්ධය සම්බන්ධයෙන් විග්‍රහයක් කර තිබුණි. ඔහුගේ අවධාරණය වූයේ මෙම අර්බුදයට ආමන්ත්‍රණය කිරීමට නම් ගෝලීය එකමුතුවක් අවශ්‍ය බව ය. පරණ පාරේ යමින් අලුත් ලෝකයේ අර්බුද කිසිවකට විසඳුම් නැතැයි ජනාධිපති රනිල් මෙහිදීත් පෙන්වා දී තිබේ. ඒ කතාව සැබෑවකි. එහෙත් ලෝකය මානව වර්ගයාට හිතකර අභයභූමියක් බවට පත්කර ගැනීමට තවමත් හරස් වන්නේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් බව ද ජනාධිපති රනිල් දනී. ඔහු සිය පක්‍ෂයේ පූර්වගාමීන් මෙන් ඊශ්‍රායලයට පක්‍ෂපාතී නොවන අතරම පලස්තීනයට ද හිතවත් බවක් දක්වන්නේ නැත. එය අප වැනි කුඩා රටක් අනුගමනය කළ යුතු නිදහස් හා මැද මාවතේ පිළිවෙතද වේ. ඊශ්‍රායලයට හමාස් ත්‍රස්තවාදීන් සමඟ තිබෙන ඓතිහාසික වෛරය බේරා ගැනීම සම්බන්ධයෙන් අපට ගැටලුවක් නැත. එහෙත් එහිදී මිලියන සංඛ්‍යාත ජනතාවක් පත්වන අනාථ අසරණභාවය ගැන කිසිවෙක් බරපතළ ලෙස සලකා බලත්ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිවේදන නිකුත්කරමින් ඊශ්‍රායලයේ ප්‍රතිචාරය හෙළාදැකීම හැර කළ හැකි වෙන දෙයක් නැති බව ද මෙහිදී තහවුරු වී තිබේ. එහෙත් ඒ සියලු දෙනාටම සිදුවන්නේ හමාස් ප්‍රහාරයට ඊශ්‍රායලය විසින් දැක්විය හැකි ම්ලේච්ඡතම ප්‍රතිචාර දෙස බලා සිටීම පමණි. සමහර දේශපාලන විචාරකයන් අනතුරු අඟවන්නේ ඇතැම් විටෙක 21 වන සියවසේ ම්ලේච්ඡතම මානව ඛේදවාචකය වෙත මෙම යුද්ධය ඇදී යා හැකි බවට ය.

කුමක් වුවත් මෙම ඊශ්‍රායල – පලස්තීන යුද ගැටුම් විසින් ලෝක ආර්ථික හා සමාජ දේශපාලන චිත්‍රවල තීරණාත්මක වෙනසක් සිදුකෙරෙන බව ද දේශපාලන හා යුද විශේෂඥයන්ගේ අදහස ය. ශ්‍රී ලංකාවට ඒ ආර්ථික දේශපාලන ප්‍රතිචාරවලට අමතරව තවත් උග්‍රවන අර්බුද කීපයකටම මුහුණ දීමට ද සිදු ව තිබේ. දැනටමත් සමාජ දේශපාලන අංශවල අවධානයට හා සංවාදයට ලක්ව තිබෙන විධායක ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව හා ඉක්මනින් ම මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම ප්‍රධාන මාතෘකා දෙකකි. මෙබඳු යෝජනා ආණ්ඩුව විසින් අනුමත කරන ලද හෝ ඔවුන්ගේ ප්‍රමුඛතාවල අංක එකට පත්ව තිබේ ද යන්න අපි නොදනිමු. එහෙත් එමගින් ආණ්ඩුව තම සැඟවුණු දේශපාලන ක්‍රියාන්විතයක් බලගැන්වීමට සූදානම් වන්නේ ද යන සැකය නම් දේශපාලන පක්‍ෂවල මෙන්ම සිවිල් සංවිධාන තුළ ද මතු වි තිබෙන බව පෙනේ. එබඳු යෝජනා දෙකක් මේ ආණ්ඩුවට තනිවම ක්‍රියාවට නැංවිය නොහැකි බව ද නිසැකය. පාර්ලිමේන්තුවේ 2/3 බහුතර ඡන්දයක් මෙන්ම ජනමත විචාරණයකින් ද අනුමත කර ගත යුතු ප්‍රබල දේශපාලන වෙනසකට ආණ්ඩුව සූදානම් වන්නෙහි ද?

පාර්ලිමේන්තුවේ බලය හිමි පොදුජන පෙරමුණෙහි මහ ලේකම් සාගර රටට පවසන්නේ තම පක්‍ෂය මැතිවරණ කල්දැමීම අනුමත නොකරන බව ය. ඔහු පවසන්නේ ජනාධිපතිවරණය ගැන නම් තවම ඒ අදහස අපට පිළිගත හැකි වේ. එහෙත් පළාත් පාලන මැතිවරණයට සිදු වූ සන්තෑසිය ඔහුට මතක තිබිය යුතුය. ජනාධිපති රනිල්ට ඒ ඡන්දය අතුරදන් කිරීම ගැන මෙන්ම පළාත් සභා ඡන්ද නොපැවැත්වීම සම්බන්ධයෙන් ද චෝදනා නැගී තිබේ. පළාත් පාලන ඡන්දය කල් ගියේ ආර්ථිකය කඩාවැටී තිබෙන නිසා බව ජනාධිපති පමණක් නොව පොහොට්ටුවේ සමහරු ද කීහ. පළාත් පාලන ඡන්දය නොපැවැත්වීම ගැන අධිකරණයේ නඩු පැවරීම හැර විපක්‍ෂය සඳහන් කළ ජනතා විරෝධතා හෝ උද්ඝෝෂණ කිසිවක් හෝ සිදු වූයේ ද නැත. ජ.වි.පෙ. නායක අනුර කුමාර, ස.ජ.බ නායක සජිත් මෙන්ම නිදහස ජාතික සභාවේ මහාචාර්ය ජී. එල්. පීරිස්, උත්තර ලංකා සභාගයේ විමල් වීරවංශ ඇතුළු විවිධ කණ්ඩායම් වෙන් වෙන්ව ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් විවේචනය කළත් ඒවායින් ජනාධිපති රනිල් පසුබසින බවක් ද කිව නොහැක.

දැන් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් පොහොට්ටුව දක්වන ඇතැම් අදහස්වල ද පරස්පරතාවක් පෙනේ. එහි නායක හිටපු අගමැති මහින්ද කියන්නේ ආණ්ඩුව ජනතාවට සහන ලබාදිය යුතු බව ය. විදුලි බිල ඉහළ දැම්මොත් තමන්ට ද එය ගෙවා ගත නොහැකි බවය. ඒවා හිස් දේශපාලන ප්‍රකාශ වුවත් ඒවාට රැවටෙන සුළු පිරිසක් හෝ නොවෙතියි කිව නොහැක. හිටපු ඇමැතිවරයෙක් වන මහින්දානන්ද නම් පවසන්නේ ලබන අය වැයෙන් රාජ්‍ය සේවකයන්ට යම් වැටුප් වැඩිවීමක් වීමට හැකි බවය. එහෙත් මෙරටේ ලක්‍ෂ සංඛ්‍යාත පොදු ජනතාවගේ ඉරණම කුමක්ද? ජාත්‍යන්තර අරමුදලේ ණය වාරිකය කප්රුකක් ලෙස කල්පනා කරන අය ද ආණ්ඩුවේ සිටිති. එසේ වුවද ආණ්ඩුවේම සිටින මහාචාර්ය රංජිත් බණ්ඩාර වැනි අය පවසන්නේ කෘෂි කර්මාන්තය මුල්කර ගත් ආර්ථිකයක් රටට අවශ්‍ය බව ය. එහෙත් ආණ්ඩුවට තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය කුමක් ද? ගෝඨාභයගේ බිඳවැටුණු පාලන ව්‍යුහය යළි ප්‍රකෘති තත්ත්වයට ගොඩනැගීමට ජනාධිපති රනිල්ට නොහැකි විය.

ජනාධිපති රනිල්ගේ බලය රඳාපවතින්නේ ජනතාවගේ අප්‍රසාදය ලක්වූ පාලනයක මෙන්ම දූෂණ හා වංචා පිළිබඳ විවිධ චෝදනා එල්ල වන පිරිසක් සහිත දේශපාලන කණ්ඩායමක සහාය මතය. දූෂණ, වංචා, අල්ලස් අක්‍රමිකතාවලට එරෙහිව එබඳු චූදිතයන්ට එරෙහිව පියවරක් ගැනීමට ඔහුට නොහැකිය. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය ගැන කෙබඳු දේවල් ප්‍රකාශයට පත් වුවත් අඩුම තරමින් විදුලිය, ඛනිජ තෙල් වැනි ආයතන හෝ පිරිපහදු කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇත. මේ වනවිට අන්තයටම පිරිහී තිබෙන සෞඛ්‍ය සේවය මෙන්ම පොදු ප්‍රවාහනය ගැන කිසිදු සාධනීය පියවරක් ගැනීමට ආණ්ඩුව අසමත් වී සිටියි. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමේ උසාවි නියෝග පවා නිකුත්ව තිබේ. මහජන මුදල් සමඟ සෙල්ලම් කිරීමට ඉඩ දිය නොහැකි බව මාලිගාකන්ද විනිසුරුතුමා ප්‍රකාශ කර තිබුණි. අත්අඩංගුවට ගැනීම් තබා මෙම ක්‍ෂේත්‍රවල කිසිවෙක් ඉවත්කිරීමට හෝ ඇමැතිට ද බැරිය.

විධායකය අහෝසිය සහ ඡන්ද ක්‍රමයේ වෙනස දේශපාලන ගුණ්ඩුවක් ද?

ඇත්ත වශයෙන් ම ආණ්ඩුවේ නායකයාට වුවමනා ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා පොහොට්ටුවෙන් සහායක් ලැබේද? ඉහත සඳහන් කළ විධායකය හා මැතිවරණ ක්‍රමය සම්බන්ධ අලුත් වෙනසක් සිදුවනු ඇතැයි සිතිය හැකිද? චන්‍ද්‍රිකාගේ සිට මහින්ද මෙන්ම මෛත්‍රිපාලත් පිළිගත් විධායක ක්‍රමය අහෝසි කිරීම ඉදිරියට ගෙන යන නිශ්චිත වැඩපිළිවෙළක් ජනාධිපති රනිල්ට නැත. සජිත් හෝ අනුර කුමාර වැනි අද ඉදිරියෙන්ම සිටින පක්‍ෂවල නායකයන්ට ද එබඳු දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවක් ද නොපෙනේ. ඔවුන්ට අමතරව ජනාධිපති ධුරයට පත්වීමේ අපේක්‍ෂා සහිත තවත් අය ද සිටිති. කුමක් වුවත් ඊළඟ ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය තෙක් තවදුරටත් බලය රසවිඳීමට ඉඩ තිබියදී රට වෙනුවෙන්, ජනතාව උදෙසා එබඳු දේශපාලන සංශෝධනයන් සිදුවනු ඇතැයි සිතීම ද මුළාවකි.

කෙසේ වුවද පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ යෝජනාවක් තමන් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද බවක් ද විජේදාස ඇමැතිවරයා පවසා තිබේ. සමානුපාතික හා කේවල ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත මැතිවරණ ක්‍රමයක් පිළිබඳ දිනේෂ් ගුණවර්ධනගේ කමිටුවකින් යෝජනා වූ බව ද අපට මතකය. කුමක් වුවත් රටට උචිත, ජනතාවට ඔරොත්තු දෙන ඇමැතිවරුන් හා මන්ත්‍රීවරුන් සහිත පාලනයක් මේ රටට ලැබෙනු ඇතැයි අපට නම් අනුමාන වශයෙන් හෝ කිව නොහැක.

නොබෝදා මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ නායකත්වයෙන් බිහි වූ නව ජාතික භික්‍ෂු එකමුතුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවයේදී (14) මෙරටේ පාලනය භාරගත් සියල්ලන්ටම ඉදිරිපත් වූයේ අධිචෝදනා පත්‍රයකි. මහජනයා මුළාකරමින් බලය ලබාගත් උදවිය සැප සම්පත්, ධනය කඳුගසා ගත් හොර නඩයක් බව ද උන්වහන්සේගේ චෝදනාව විය. පන්සල, පල්ලිය, කෝවිල සුරකින ජනතාව රැවටීමකට ලක්ව තිබෙන බව ද දශක හතක් පුරා වහලුන් ලෙස ජනතාවට දුක්විඳීමට සිදුවූයේ ද බලයට පත් දූෂිතයන් තක්කඩියන් බහුල වීම නිසා බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මේ අනුව ආණ්ඩුව සූදානම් වන්නේත් ඒ පුරුදු දේශපාලන සෙල්ලමට දැයි දේශපාලන පක්‍ෂ මෙන්ම සිවිල් සංවිධාන ද ප්‍රශ්න කරයි. ජ.වි.පෙ. මාධ්‍ය හමුවක් පවත්වමින් කියාසිටියේ ආණ්ඩුව විධායක ක්‍රමය අහෝසි කරන යෝජනාවට මුවා වී තම බලය පවත්වාගෙන යෑමේ සූත්තර සොයමින් සිටින බව ය. ඔවුන් තර්ක කරන්නේ අනුප්‍රාප්තික ජනාධිපති වූ රනිල්, සිය කාලය අවසන් වීමෙන් පසු අගමැති ලෙස තවදුරටත් පාලන බලය මෙහෙයවීමේ අපේක්‍ෂාවෙන් දේශපාලන දහන්ගැට ගසන බවය. කිසිදු ජනවරමක් නොමැතිව ව්‍යවස්ථාවේ නීතිමය ප්‍රතිපාදන අනුව විධායක පුටුව හිමිකර ගත් රනිල් මෙන්ම මහජන විරෝධතා නමැති සුළි සුළඟින් විසිරී ගිය රාජපක්‍ෂ බලය යළි අටවාගත් පොහොට්ටුව ද තවදුරටත් රටේ බලය හිමිකර ගැනීමට කල්පනා කරන්නේ නම් එහි පුදුමයක් ද නැත.

විධායක ක්‍රමය අහෝසි කිරීම හා මැතිවරණ ක්‍රමය සංශෝධනය යන ක්‍රියාදාමයන් දෙකම දේශපාලන ව්‍යාකූලත්වයක් සඳහා භාවිතා කර ගැනීමට ද කපටි දේශපාලන මොළවලට බැරිකමක් නැත. මේවා අහෝසි කිරීම සඳහා ගන්නා පියවරක් යනු මතුපිටින් බලන බොහෝ දෙනෙකු අනුමත කරන්නකි. මක්නිසාද යත් එය දශක ගණනාවක් ම ජනමනස තුළ තිබුණු අපේක්‍ෂාවක් හා ප්‍රාර්ථනාවක් ද හෙයිනි. එදා අවංකවම ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ උදෙසා පෙනී සිටි වත්මන් ජනාධිපති රනිල් මෙහිදී කෙසේ ක්‍රියාකරනු ඇද්ද? එය යළිත් ජනතාව රැවටීමේ උප්පරවැට්ටියක් ද?

කුමන තත්ත්වයක් යටතේ වුවද එළඹෙන ජනාධිපතිවරණය රාජපක්‍ෂවරුන්ට මෙන්ම එම කඳවුරට ද ප්‍රබල අභියෝගයකි. මොන පුරසාරම් දෙසා බෑවත් පොහොට්ටුවෙන් එන බැසිල්ට වුවද ජන ප්‍රසාදයක් ලැබෙනු ඇතැයි සිතිය නොහැක. රනිල්ගේ තත්ත්වයෙහි ද වර්ධනීය වෙනසක් නැත. එසේ නම් යම් හෙයකින් විධායක ක්‍රමය පමණක් අහෝසි කිරීමට හැකි වුවහොත් රනිල්ට අගමැති ලෙස පාර්ලිමේන්තුව මෙහෙයවීමටත්, තවදුරටත් බලය භුක්තිවිඳීමටත් අවස්ථාවක් සලසා ගැනීමට ද බාධාවක් නැත. එහෙත් විධායක ක්‍රමය අහෝසි කිරීම බලයේ රැඳී සිටීමට අටවා ගන්නා කෙමනක් බව විපක්‍ෂ වටහා ගතහොත් එයට තිබෙන ඉඩකඩ ද ඇහිරී යනු ඇත. එසේ නම් විධායක ක්‍රමය අහෝසි කිරීම සඳහා දේශපාලන මගඩි නැති සද්භාවයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලු කොටස්ම එක්විය යුතු වෙති.

ගාමිණි සුමනසේකර

advertistmentadvertistment
advertistmentadvertistment