වෙසඟ සැමරීම හා සිංහල බෞද්ධයා

446

අධර්මයෙන් ජීවත්වීම ය, ධර්මයෙන් මරණයය යන දෙකින් ධර්මයෙන් වන මරණය ම උතුම් යැයි ධර්මයේ සඳහන්ව ඇත. මනුෂ්‍යයෝ පරලොව යහපත – පරලොව සැපය සඳහා ආගම් පිහිට කර ගනිති. මෙලොවට ද ආගම්වල පිහිට ඇතත් ඇත්තේ ස්වල්ප වශයෙනි. රත්නත්‍රය හැඳින ගැනීම බුද්ධාගම ඇදහීමේ අත්තිවාරම ය. රත්නත්‍රය නො හඳුනන තැනැත්තා කරන පින්කම් අත්තිවාරමක් නැති ව තැනූ ගොඩනැගිල්ලක් සේ දුබල ය. එහෙත් අද අපි කතා කරන්නේ වෙසඟ ගැනය. වඩා උතුම් ලෙස සැලකෙන්නේ වෙසක් පොහොයයි. ලෝකවාසී බෞද්ධ ජනතාවට වෙසක් පුර පසළොස්වක පොහොය තරම් වෙනත් උතුම් පොහොයක් නැත. ශ්‍රී ලංකාවේ අපට 2018 පසු නිසියාකාරව වෙසක් සැමරීමට අවස්ථාව සැලසුනේ නැත. සහරාන් බෝම්බ ගැසූ නිසා 2019 වෙසක් පෝය දිනයේ පන්සල් අසල ද හමුදා භටයින් ඔබමොබ හැසිරෙනු දක්නට ලැබිණි. වෙසක් තොරණ කුඩු නිර්මාණය වුණේ නැත. අතරින් පතර දන්සල් එකක් දෙකක් පැවැත්විණි. එය ත්‍රස්තවාදයේ අඳුරින් වැසිණි. නමුත් 2020 -2021 පෝය දෙකම කොරෝනා අඳුරට බිලිව ගියේය. එහෙත් මේ වෙසක් පොහොය අරගල අඳුරට බිලිවන්නට ඉඩ දිය යුතු නැත. හැකි ආකාරයෙන් වෙසඟ සැමරිය යුතුය. ලෝකයේ ථෙරවාද, මහායාන යන සෑම රටකම වෙසක් උත්සවය සම්බන්ධව සැමරීම් කළ ද, ශ්‍රී ලංකාව ඉතාමත් ගෞරවයෙන් උත්කර්ෂවත්ව සුවිශේෂී උත්සවයක් ලෙස මේ පොහොය සැමරීම විශේෂත්වයකි. ලෝකයේ වෙනත් කිසිදු රටක වෙසක් උත්සවය මේ ආකාරයෙන් සමරන්නේ නැත.

අප මහ බෝසතාණන් වහන්සේ සසරේ එක්තරා ආත්ම භවයක සුමේධ තාපසයාණන්ව, දීපංකර බුදු පියාණන්ගේ පාද මූලයේදී මතු බුදුබව පතා ප්‍රථම වරට නියත විවරණ ලැබුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනකයි. සසරේ අවසන් ආත්ම භාවයේදී විසිනව වන වියට එළැඹුණු සිදුහත් කුමරු උයන් කෙළියට පැමිණෙද්දී ජීවිතයේ අනියත වටහා දුන් සතර පෙර නිමිතිවල ව්‍යාධි රූපය පළමුව දුටුවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය. බුද්ධත්වයෙන් දස මසකින් කිඹුල්වත්පුර තම උපන් ගමට වැඩම කළ බුදු පියාණන් වහන්සේ ඥාතීන්ගේ අතිමානය දුරැලීමට යමා මහා පෙළහර පෑවේද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකය. බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය වූ කැලණියට වැඩම කොට චූලෝදර, මහෝදර නා රජුන් ප්‍රමුඛ බොදු මහ ජනතාවගේ දානය වළඳා ඔවුනට ධර්ම දේශනා කර ශ්‍රී පාද පද්මය පිහිටුවා අනෙකුත් ස්ථානයන්ට වැඩම කිරීම සිදු වූයේ ද වෙසක් පුර පසළොස්වක පොහොය දිනකදීය.

අප ව්‍යවහාර කරන බුද්ධ වර්ෂය ආරම්භ වනුයේ බුදුරදුන්ගේ පරිනිර්වාණයත් සමග ය. ආර්ය වංශික විජය රජතුමාගේ සම්ප්‍රාප්තියත් එදිනම සිදු වූ හෙයින් වර්ෂය ද ඒ සමග ඇරඹෙයි. එසේ නම් මුළු ලෝකයේ කිසිදු ජාතියකට නැති අන්දමට සිංහලයාට ආගමික වර්ෂයත්, ජාතික වර්ෂයත් එක් දිනයක යෙදීම මහත් වාසනාවකි. එසේම සිංහල රජුන්ගේ රාජාභිෂේක සම්ප්‍රදාය වෙසක් පෝයදාක ආරම්භ වී තිබේ. අපේ ඉතිහාස කතාව එනම් මහා වංශයේ සඳහන් ආකාරයට අනුව සෑම රජකුම වෙසක් උත්සව පවත්වා ඇත. දුටුගැමුණු රජතුමා වෙසක් උත්සව 27 ක් පැවැත්වූ බව, මහා වංශයේ 32 වන පරිච්ජේදයේ සඳහන් වේ. ඉතිහාසය පුරාම සඳහන් වන “මහාවේශාඛ පූජා” යන වචනයට අනුව මහා වෙසක් උත්සව උත්කර්ෂයෙන් පැවැත්වූ බවට එහි අර්ථ ගැන්වේ. මහාවංශයට අනුව, දුටුගැමුණු රජතුමාගෙන් පසු භාතිය රජතුමා වෙසක් උත්සව 28 ක් පැවැත්වූ බවට තොරතුරු මහාවංශයේ 34 වන පරිච්ජේදයේ සඳහන් වේ. වසභ රජතුමා ඔටුණු පළන් වර්ෂයේ සිට පිළිවෙළින් වෙසක් උත්සව 44 ක් පැවැත්වූ බව මහාවංශයේ 25 වන පරිච්ජේදයේ සඳහන් ය. වෝහාරතිස්ස රජතුමා වෙසක් උත්සවය පවත්වා දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට තුන් සිවුරු පූජා කළ බව මහාවංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ගෝඨාභය හා ජෙට්ඨතිස්ස රජතුමා වෙසක් උත්සව පැවැත්වූ ආකාරය මහා වංශයේ 36 වන පරිච්ජේදයේ සඳහන් වේ. ඉතිහාසය පුරා වෙසක් උත්සව පවත්වාගෙන පැමිණි ආකාරය ඓතිහාසික සාධක තුළ සඳහන් ව ඇත. එම සෑම ස්ථානයකදීම පවත්වන ලද වෙසක් උත්සවයන්හි සිරිත් විරිත් හා වෙසක් උත්සව පැවැත්වීමට හේතු වූ කාරණාවන් ඓතිහාසික සාධක තුළින් උකහා ගත හැකි ය. පළමු පරාක්‍රමබාහු රජතුමා වෙසක් උත්සවය ප්‍රබල සමාජ උත්සවයක් ලෙස පැවැත්වූ ආකාරයත්, මිහින්තලා සෙල් ලිපියෙහි සඳහන් “මඟුල් ජෙටක්” යන වචනයෙන් ප්‍රධාන මංගල්‍යයක් ලෙස පැවැත්වූ බවටත් මිහින්තලා සෙල් ලිපිය උදාහරණයක් ලෙස දැක්විය හැකි ය. කෙසේ නමුත් පෘතුගීසි හා ඕලන්ද යුගවල වෙසක් උලෙළ පහතරටින්, යටපත්ව ගියේය. 1815 පසු උඩරට ද එය යටපත් විය. එයට හේතුව ක්‍රිස්තියානිය පැතිර යෑමයි. පානදුරාවාදය නිසා බෞද්ධ ප්‍රබෝධය වේගයෙන් පැතිරෙන්නට විය. 1885 ඕල්කට්තුමා පැමිණ පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටු වීය. 1885 බෞද්ධ කොඩිය ආරම්භය – මිගෙට්ටුවත්තේ ගුණානන්ද හා හික්කඩුවේ සුමංගල වැනි හිමිවරුන්ගේ කැපවීම – සරසවි සඳරැස වැනි පත්‍ර කළ සටන නිසා යළිත් ජාතික ප්‍රබෝධයක් ඇති විය. වෙසක් පෝය රජයේ නිවාඩුවක් බවට පත් විය. 1885 මාර්තු 27 වැනි දින අංක 4648 දරන ගැසට් පත්‍රය මඟින් වෙසක් පොහොය දිනය රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද අතර, 1886 අංක 4 දරන ආඥා පනත මඟින් නීතිගත කරන ලදි. ‘සරසවි සඳරැස’ පුවත්පත මේ බව වාර්තා කර තිබුණේ මෙසේය. “මෙම මස විසිඅට වැනිදාට (1885 අප්‍රේල් 28) පැමිණෙන වෙසඟ පුර පසළොස්වක දින ආණ්ඩුවේ නිවාඩු දිනයක් කොට ගැසට් පත්‍රයේ ප්‍රසිද්ධ කර තිබේ. ඉතින් මෙවක් පටන් සංවත්සරයක් පාසා පැමිණෙන වෙසඟපුර පසළොස්වක් දින බෞද්ධයන් උදෙසා ආණ්ඩුව විසින් දෙන නිවාඩු දවසක් ලෙස ලංකාවේ ව්‍යවහාර වන බව මෙයින් සැලකිය යුතුයි.” (සරසවි සඳරැස 1885 අප්‍රේල් 03)

වෙසඟ සැමරීම ද ආමිස පූජාවකි. ආමිස පූජාව නිවන නමැති චූඩාමාණික්‍යය දරා සිටින දාගැබේ පාදම ය. ආමිස පූජාවලින් තොරව ප්‍රතිපත්ති පූජාව පිරීම ඉතා දුෂ්කර ය. ප්‍රතිපත්ති පූජාව යනු බුදුන් වහන්සේ දේශනා කළ නිවන් මාර්ගයේ ගමන් කිරීමයි. ආමිස පූජාව බෞද්ධ සමාජයේ ප්‍රගමනයට හේතුවෙයි. බෞද්ධ ප්‍රබෝධය ඇති කිරීමට කුඩා අටපට්ටමේ සිට මහා තොරණ දක්වා විහිදෙන පහන් ආලෝකයට හැකිය. වෙසක් දිනයට නොයෙක් නොයෙක් සැරසිලි, වෙසක් කූඩු, තොරණ හැදීම වැනි සංස්කෘතික කාරණා ලෝකයේ අන් රටවල දැකිය නොහැකිය. අපගේ සංස්කෘතික නිර්මාණවලට ලෝකයා වසඟ වී තිබෙන්නේ අපටම අනන්‍ය සිංහල බෞද්ධ හැඩයක් එම නිර්මාණවල තිබෙන නිසාය. ලෝකයේ වෙසක් නිර්මාණ යම් ප්‍රමාණයකට තිබුණත් අපේ රටේ නිර්මාණ තරම් මවිත වීමක් එම නිර්මාණවලින් සිදුවන්නේ නැත. වෙසක් කාලයේ පවත්වන දන්සල්වලට බෞද්ධයන් පමණක් නොව අන්‍ය ආගම්වලට අයත් පිරිස් ද සහභාගි වෙති. එයින් ලෝකයාටම කියාපාන පණිවුඩය වන්නේ ආගමික සහජීවනයයි. වෙසඟේ ඉදිකෙරෙන සෑම බෞද්ධ නිර්මාණයක්ම භාවිත කළ යුත්තේ හුදු ප්‍රදර්ශනාත්මක අදහසින් නොව බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කිරීමේ අදහසිනි.

රටේ අවුල් වියවුල් තත්ත්වයක් උද්ගතව තිබුණ ද එය අපේ වෙසක් සැමරුමට බාධාවක් විය යුතු නැත. මේ අවස්ථාවේ බෞද්ධ විරෝධී බලවේග වඩා බලවත්ව සිටින සමයකි. පසුගිය දිනවල පන්සල්වලට කඩා පැන ඒවා පරීක්ෂා කරන ආලවකයින්ද දැක ගැනීමට හැකි විය. මේ කවර විපතක්ද? අන්‍යාගමික ආක්‍රමණයට ලක්ව තිබූ කූරගල පුදබිම අද ජාතියේ මහා පුදබිමක් බවට පත්ව බෞද්ධ ලෝකයට දායාද වනු දැකීම මෙරට සිංහල බෞද්ධයින්ගේ නොව ලෝකවාසී බෞද්ධයින්ගේත් සතුටට හේතුවකි. නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ වතුරකුඹුරේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ ඓතිහාසික කූරගල පූජා භූමියේ වත්මන් භාරකාරත්වය දරන අතර උන්වහන්සේගේ කැපවීම නිසා මේ මහා කාර්යය යථාර්ථයක් බවට පත්විය. ඇත්තෙන්ම වත්මන් ජනපතිතුමා නොවන්නට මෙය සිහිනයක්ම පමණි. එය අද නොව මතු ඉතිහාසයේ සටහන් වනු ඇත. කවරක් නමුත් මේ වෙසක් දිනයේ මගේ වෙසක් ප්‍රාර්ථනාව කුමක්ද? සිංහල බෞද්ධයින්ට උදැල්ලෙන් වතුර අදින්නට වන කාලයක් උදා නොවේවා යන්නයි. නුවණැත්තෝ මෙය වටහා ගනිත්වා!

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment