වෛද්‍යවරුන් රට හැර යෑමෙන් සෞඛ්‍ය සේවය වසර 5ක් ආපස්සට ගිහින්

241

රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදුවෙමින් පවතින බුද්ධිගලනය හමුවේ විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් රට හැර යෑමෙන් මෙරට සෞඛ්‍ය සේවය වසර පහක් ආපස්සට යෑමක් සිදුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය අවබෝධ කර ගනිමින් රජය, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ වගකිව යුතු අංශ නිසි පියවර නොගතහොත් ඉදිරි වසර වන විට මෙරට සෞඛ්‍ය සේවාව වසර දහයකින් පසුපසට යෑමක් සිදුවිය හැකි බවද මාධ්‍ය හමුවකදී එම සංගමයේ සභාපති, වෛද්‍ය දර්ශන සිරිසේන මහතා පැවසීය.

ශ්‍රේණි වෛද්‍යවරයකු බිහි කිරීමට වසර 07ක පමණ කාලයක් සහ විශේෂඥ වෛද්‍යවරයකු බිහිකිරීමට වසර දහයක පමණ කාලයක් යන බවත් කියා සිටි වෛද්‍යවරයා පවතින බුද්ධිගලනය හමුවේ මෙරට සෞඛ්‍ය සේවාව අතහැර වෙනත් රටවල් කරා වෛද්‍යවරුන් පිටට යෑමෙන් මෙම තත්ත්වය උග්‍රවී ඇතැයි ද කියා සිටියේය.

හදිසි ප්‍රතිකාර ඒකකවල සිටින විශේෂඥ වෛද්‍යවරුන් 30 දෙනාගෙන් පසුගිය වසර දෙක තුළදී 23 දෙනකු රට හැර ගොස් ඇති බවත්, ස්නායු රෝග විශේෂඥ වෛද්‍යවරු 29 දෙනා අතුරින් 05 දෙනකු රට අතහැර ගොස් ඇති බවත්, විදේශ පුහුණුව නිම කර පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 8 දෙනාගෙන් 6 දෙනකුම රට හැර ගොස් ඇති බවත් වෛද්‍යවරයා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ පිළිබඳව පැහැදිලි දත්ත වාර්තා නොමැති බවද සඳහන් කළ වෛද්‍යවරයා, වෛද්‍යවරුන් රට හැර යෑමට ප්‍රධානම හේතුව වී ඇත්තේ ආර්ථිකයට සරිලන වැටුප්, නිල නිවාස ප්‍රශ්න, ඉන්ධන අවශ්‍යතා සපුරා ගැනීම ඇතුළු ගැටලු බව ද වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment