ශ්‍රී ලංකාවෙන් දුන් පාඩමක් ද….? ඉරාකයේ උද්ඝෝෂකයෝ ජනපති මැඳුර අල්ලති

191

ඉරාකයේ ප්‍රබල බලයක් සහිත ෂියා පූජකයකු වන මුක්ටාදා අල් සදාර් දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීමත් සමග ඉරාක අගනුවර වීථි සටන් ඇවිළ තිබේ. මේ ෂියා පූජකයාගේ අනුගාමිකයින් විසින් එරට ජනපති මන්දිරය හා රජයේ ප්‍රධාන ගොඩනැගිලි අල්ලාගෙන තිබේ.

මුක්ටාදා අල් සදාර්ගේ ආධාරකරුවන් හා එරට ආරක්ෂක හමුදා අතර බැග්ඩෑඩ් හි පැවති ගැටුම් හේතුවෙන් අවම වශයෙන් 15 දෙනකු පමණ මියගොස් තිබේ.

විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වැදීමෙන් පසුව ආරක්ෂක අංශ වෙඩි තැබීම නිසා තවත් විරෝධතාකරුවන් 350 ක් පමණ තුවාල ලැබූ බව නිලධාරීහු පවසති.

විරෝධතාකරුවන් ජනපති මන්දිරයේ නාන තටාකයට පැන සතුටු වන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ.

ඉරාකයේ භාරකාර අගමැතිවරයා විසින් සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇති අතර තවත් නගර කිහිපයක නොසන්සුන්තා වැඩිවීම නිසා හමුදාව රටපුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කර තිබේ. මෙම ගැටුම් ඇතිවූයේ ඉකුත් සඳුදා දිනයේය.

බොහෝ සටන් සංකේන්ද්‍රණය වී ඇත්තේ රජයේ ගොඩනැගිලි සහ විදේශ තානාපති කාර්යාල පිහිටි ප්‍රදේශයක් වන බැග්ඩෑඩ් නගරයේ හරිත කලාපය වටාය. ගැටුම් හේතුවෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාල කාර්ය මණ්ඩලයට ජර්මානු තානාපති කාර්යාලයේ රැකවරණය පැතීමට ද සිදු විය. ඇමරිකානු තානාපති කාර්යාලයේ සේවය කරන පිරිස ඉවත් කළ බවට පුවත් පැතිර ගියද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එය ප්‍රතික්ෂේප කර ඇත.

ඉරාක බලධාරීන් පැවසුවේ මුක්ටාදා අල් සදාර්ට පක්ෂපාතී සන්නද්ධ කණ්ඩායම වන සාම බළකාය සහ ඉරාක හමුදා සාමාජිකයින් අතර ගැටුම් ඇතිවූ බවයි. සමහර සටන්කරුවන් ආර්පීජී ඇතුළු බර අවි භාවිත කරන ආකාරය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වූ වීඩියෝ දර්ශනවල දිස්විය. සටන් මධ්‍යයේ ඉරානය ඉරාකය සමඟ ඇති දේශසීමා වසා දමා ඇති අතර වහාම ඉරාකයෙන් පිටවන ලෙස කුවේටය තම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේය.

මෙම ගැටුම් ඊයේ දවස පුරා ද බැග්ඩෑඩ් නගරය ඇතුළු නගර කිහිපයක ඇවිළෙමින් තිබිණි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment