ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය අද

96

සුමතිපාලගේ අභියාචනයේ තීන්දුව ඊයේ හවසත් නැහැ

අපි දිනනවා: උප සභාපති අපේක්ෂක රංජිත් රොඩ්‍රිගෝ

ජාත්‍යන්තර තහනමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය අද (29 වැනිදා) පැවැත්වීමට නියමිත වූවද ඒ සඳහා සභාපති ධුරයට තරග කරන එක් පර්ශ්වයක අපේක්ෂකයකුගේ නාමයෝජනාව සුදුසු ද නැතිද යන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනාධිකරණය කමිටුව ඊයේ (28 වැනිදා) සවස වනතුරුත් නිල වශයෙන් ප්‍රකාශ කර නොතිබිණි.

නිලවරණය සඳහා ජස්වර් උමර් පාර්ශ්වය සහ දක්ෂිත සුමතිපාල පාර්ශ්වය නාමයෝජනා ඉදිරිපත් කර තිබුණි.

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය අද

දක්ෂිත සුමතිපාල මහතාගේ සභාපති ධූර අපේක්ෂකත්වය පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනාධිකරණය කමිටුවේ තීරණය ඊයේ හවස වනතුරුත් ප්‍රකාශයට පත් වී නොතිබීමෙන් මෙම ව්‍යාකූල තත්ත්වය උද්ගතව තිබූ අතර අද සවස 3.00 ට කොළඹ පදනම් ආයතනයේ දී පාපන්දු නිලවරණය පැවැත්වේ.

සුමතිපාල මහතා ගේ සභාපති අපේක්ෂකත්වය නිලවරණ කමිටුව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව යළි සලකා බැලීමේ අවස්ථාවේ දී ද ප්‍රතික්ෂේප වුණි.

අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශයේ අභියාචනාධිකරණය කමිටුව හමුවේ යළි අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඔවුන් කටයුතු කළ අතර ඒ පිළිබඳව තීරණයක් ඊයේ හවස වනවිටත් ප්‍රකාශයට පත්වී නොතිබුණි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණේ තෙවන පාර්ශ්වයක මැදිහත් වීම නොමැතිව ස්වාධීන නිලවරණ කමිටුවක් යටතේ නිලවරණය පවත්වා නිලධාරී මඬුල්ල පත් කරගන්නා ලෙසයි.

ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය අද

දැනට තාවකාලික නිදහසක් ලබා ඇති ශ්‍රී ලංකා පාපන්දුවට පූර්ණ නිදහස ඉන් පසුව ලැබීමට නියමිත අතර ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (ෆිපා) ඒ බව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබුණි. කෙසේ වෙතත් තෙවන පාර්ශ්වයක් ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ කටයුතු සඳහා සම්බන්ධ වීම යළි ජාත්‍යන්තර තහනමකට අත වැනීමක් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු හා ජස්වර් උමාර් පාර්ශ්වයේ මෙවර උප සභාපති අපේක්ෂකයකු වන රංජිත් රොඩ්‍රිගෝ මහතා පවසයි.

“නිදහස් හා සාධාරණ ඡන්දයකට අපි එකඟයි. ලීග 67 න් 59ක් අපි සමග ඉන්නවා. ඒත් අපි ෆිපා නීති හා රෙගුලාසිවලට අනුව නිලවරණය පැවැත්විය යුතුයි. ෆිපා එකට අපි ඒ බව පොරොන්දු වී තිබෙනවා. ඒ පොරොන්දු කැඩුවොත් අපට යළි ජාත්‍යන්තර තහනමක් පැනවේවි. එසේ වුවහොත් අපට ලෝක පාපන්දු කුසලාන තරගාවලියට සහභාගි වීමට නොහැකි වේවි.”

රංජිත් රොඩ්‍රිගෝ මහතා තව දුරටත් එසේ පැවසීය.

ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටය යටතේ තරග වැදීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පාපන්දු සංචිතය මේ වන විටත් පුහුණුවීම් අරඹා ඇත.

එසේම හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයෙන් තම පාර්ශ්වය විශිෂ්ඨ ජයක් ලබා ගන්නා බව ජස්වර් උමාර් මහතා පවසයි.

තවද හෙට පැවැත්වෙන පාපන්දු නිලවරණයට තෙවන පාර්ශ්වයකින් බලපෑමක් එල්ල නොවනු ඇති බවට තමා විශ්වාස කරන බවද ජස්වර් උමාර් පවසයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment