ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනය නිසි බලධාරියා යටතට

94

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ තහනමකට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ පරිපාලනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එහි පරිපාලන කටයුතු තාවකාලික තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් අනුර මුතුමාල මහතා එහි නිසි බලධාරීවරයා ලෙස පත් කොට ඇත.

ක්‍රීඩා පනත යටතේ පැවරී ඇති බලතල අනුව අදාළ පාපන්දු පරිපාලන අත්හිටුවීම සිදු කොට ඇති බව ක්‍රීඩා ඇමැතිවරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.

ශ්‍රී ලංකා පාපන්දු ආයතනය විවිධ ගැටලු හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර තහනමකට ද ලක්ව ඇති අතර, පාපන්දු සම්මේලනයේ අර්බුද සොයා බැලීමට හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුතු විශේෂ විමර්ශන පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට ද ක්‍රීඩා ඇමැතිවරයා පියවර ගත්තේය. එම විමර්ශන අවසන් වීමෙන් පසු කමිටු වාර්තාව පසුගිය 4 වැනිදා ක්‍රීඩා ඇමැතිවරයාට භාර දීමට එම කමිටුව කටයුතු කර තිබිණි.

අදාළ විමර්ශන වාර්තාව අනුව, විවිධ අකටයුතු ක්‍රියාකාරකම් 30ක් පසුගිය දශකය (2012-2022) තුළ සිදුවී ඇති බවට හෙළිකර ගැනීමට සමත් විය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ. ශ්‍රී රංගා මහතා ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කරමින් සිටියේය.

1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 (ආ) සහ 33 වගන්ති යටතේ ක්‍රීඩා ඇමැතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙලෙස පාපන්දු ආයතනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති අතර, තාවකාලික කාර්යය ක්‍රමයක් වශයෙන් එකී ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනයන්හි පරිපාලන සහ වෙනත් යම් අවැසි කටයුතු සහ අදාළ නිලවරණයන් කැඳවීමට හා පැවැත්වීමටත් එතෙක් යථායෝග්‍ය අයුරින් ඉටු කිරීම උදෙසා 2023 අප්‍රේල් මස 04 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිසි බලධාරියා පත් කරන බවත් අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment