ශ්‍රී ලංකා සහ බංගලි දිල්ලි හමුව අද – වායු දූෂණය ගැනත් සාකච්ඡා

224

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ඉතිරිව ඇති ස්ථාන දෙක සඳහා ප්‍රවේශ වීමට වෙර දරමින් සිටින කාණ්ඩයට අයත් ශ්‍රී ලංකාව අද (06 වැනිදා) බංග්ලාදේශය සමග තරග වැදීමට නියමිතය.

එම තරගය දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී අද ප.ව. 2.00 ට ආරම්භ වීමට නියමිත අතර දිල්ලි නුවර මේ වනවිට පවතින අධික වායු දූෂණය මධ්‍යයේ වුවද අද තරගය පැවැත්වීමට නියමිත වේ.

ඒ පිළිබඳව ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ අයිසීසී වෛද්‍ය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ වෛද්‍යවරයා ලබාදෙන උපදෙස් මත තරග වැදීමට සූදානමින් සිටින බවයි.

ඊයේ පුහුණුවීම් අතරතුරද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මාස්ක් පැළඳ සිටින අයුරු දක්නට ලැබිණි.

කෙසේ වෙතත් දිල්ලියේ මේ දිනවල පවතින අධික වායු දූෂණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා දිනයේ පුහුණුවීම්වල පවා නිරත නොවූ අතර එහෙත් ඊයේ හවස පුහුණුවීම්වල නිරත වූයේය.

මාධ්‍ය හමුවට පැමිණි ශ්‍රී ලංකා නායකයා අද තරගය පිළිබඳව මෙසේ පැවසීය.

“බංග්ලාදේශය සමග තරගය පමණක් නොවේ නවසීලන්ත තරගයත් ජය ගැනීම තමයි අපේ බලාපොරොත්තුව. ඉන්දියාව හමුවේ ලොකු පරාජයක් ලැබුවා. ඒක අමාරුවෙන් හෝ අමතක කරලා අපි තරගාවලියේ ඉදිරිය ගැන දැන් හිතන්න ඕනා. අපි මුල් තරග 3,4 හොඳින් කළා. ඉන්දියාව හමුවේ ලද පරාජය ගැන පුළුල් ලෙස සාකච්ඡා කළා. අපිට තව දුර යන්න ඕනා. ක්‍රීඩකයන් සියලු දෙනා හොඳ මානසික මට්ටමකින් ඉන්නවා.”

ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව මේ වනවිටත් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ඇති අතර ඊට සුදුසුකම් ලැබීමට ආසන්නයේම සිටින අනෙක් කණ්ඩායම් අතරින් ඔස්ටේ්‍රලියාව ලකුණු 10 ක් ලබා පෙරමුණේ වේ.

අනෙක් කණ්ඩායම් අතරින් පිළිවෙළින් නවසීලන්තය, පකිස්තානය සහ ඇෆ්ගනිස්තානය ලකුණු 8 බැගින් ලබා ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව 4, 5 සහ 6 යන ස්ථානවල පසු වේ.

ශ්‍රී ලංකාව 7 වැනි ස්ථානයේ පසුවන අතර ප්‍රසාද ලකුණු 4 ක් පමණක් ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ඔවුන් ද තවමත් අවසන් පූර්ව තරග බලාපොරොත්තුවලින් ඉවත් වී නැත.

ශ්‍රී ලංකාව අද තරගය සහ නවසීලන්තය සමග ඉතිරි තරගයද ජයග්‍රහණය කළ හොත් ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව ද 8 ක් වේ.

මේ අතර නෙදර්ලන්තය තමන්ට ඉතිරි තරග දෙකෙන් එක් තරගයක් හෝ පරාජය විය යුතු අතර ඇෆ්ගනිස්තානය තමන්ට ඉතිරි තරග දෙක වන දකුණු අප්‍රිකාව සහ ඔස්ටේ්‍රලියාව හමුවේ පරාජය විය යුතුය.

තවද පකිස්තානය එංගලන්තය හමුවේ ද පරාජය වුවහොත් ඇෆ්ගනිස්තානය, නවසීලන්තය සහ පකිස්තානය යන කණ්ඩායම් සියල්ලම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 ක් වේ.

ශ්‍රී ලංකාව ද අද බංග්ලාදේශය සහ නවසීලන්තය සමග තරග ජයග්‍රහණය කළ හොත් ශ්‍රී ලංකාවේද ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8 ක් වේ.

එවිට ඔස්ටේ්‍රලියාව ප්‍රසාද ලකුණු 10 ක් ද ඇෆ්ගනිස්තානය, නවසීලන්තය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව ද ප්‍රසාද ලකුණු 8 ක සම හිමිකරුවෝ වෙති.

එවිට ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත එම කණ්ඩායම් 4 අතරින් එක් කණ්ඩායමක් අවසන් පූර්ව වටයට යනු ඇත.

මේ තත්ත්වයන් සම්පූර්ණ වුවහොත් ශ්‍රී ලංකාවට වාසිදායක පසුබිමක් නිර්මාණය වන අතර එහෙත් ඒ සියල්ල එලෙස සිදු වීමේ සම්භාවිතාව ඉතා අඩු මට්ටමක පසු වේ.

එනිසා එළඹෙන ශූරයන් ගේ කුසලාන තරගාවලියට හෝ සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ පෙරදැරිව අද සහ ලබන 09 වැනිදා තරග ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට හිත සුව පිණිස වේ.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය මේ දක්වා ලෝක කුසලාන තරග 4 කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 3 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර එක් තරගයක් අත් හැර දමා තිබේ.

ශ්‍රී ලංකා සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), කුසල් ජනිත්, දිමුත් කරුණාරත්න, පැතුම් නිස්සංක, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, කසුන් රාජිත, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර, දිල්ෂාන් මධුෂංක

බංගල්දේශය

සකීබ් අල්හසන්, නජ්මුල් හොසේන්, හසන් මහමුද්, ලිටන් දාස්, මහෙදි හසන්, මහමදුල්ලා රියාද්, මෙහෙදි හසන් මිරාස්, මුෂ්ෆිකුර් රහීම්, මුස්තෆිසුර් රහමන්, නසුම් අහමඩ්, ෂොරිෆුල් ඉස්ලාම්, ටැන්සිඩ් හසන්, ටැන්සිම් හසන් ශකීබ්, ටස්කින් අහමඩ් සහ තව්හිත් රිඩෝයි
කුෂාන් සුබසිංහ- දිල්ලි හි අරූන් ජෙට්ලි ක්‍රීඩාංගණයේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment