සමාජවාදී රඟ මඬලේ යූ එන් පී විප්ලවවාදියා

352

වේදිකා පරිපාලකවරයාට මේ ආකාරයට වේදිකාව මතට එන නාට්‍යයේ වගකීම් සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ඇඳුම් සමඟ සිදු කෙරෙන පුහුණුවීමේ දර්ශනයෙන් පසුව ය. නාට්‍යය වේදිකා ගතවීමෙන් පසු ඔහුට ලැබෙන බලතල කෙසේද යත් කෘතිය රඟදැක්වෙන කාලය තුළදී අධ්‍යක්ෂවරයාට පවා වේදිකාවට ඇතුළුවීම තහනම් කළ හැකි බැව් සැනට් පවසයි.

මේ ඒ දෙමං පෙතෙහි වූ තනි අලියාගේ කතා වස්තුවයි

සිංහල නාට්‍ය කලාව හා නොමැකෙන නමක් හිමි සැනට් දික්කුඹුර නම් රංගන ශිල්පියා මා හට පෞද්ගලිකව අඳුනා ගන්නට ලැබුණේ අසූවේ දශකයේ මුල් භාගයේදීය. ඒ ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්” නාට්‍යයේ පුහුණුවීම් සිදු කෙරුණ කොළඹ සුදර්ශියේදීය.

සිරුරින් කුඩා වුවත් කඩියකු සේ ක්‍රියාශීලී ජවයකින් යුතු මේ රංග ශිල්පියා සිය පුහුණුවීම් සඳහා කොහුවල සිට පැමිණියේ පාපැදියකින් වීම ඔහු පිළිබඳව මගේ අවධානය යොමුවූ සුවිශේෂතාවලින් එකක් වූයේය.

සිය මංගල දර්ශනය තුළින්ම රසික ප්‍රසාදයට ලක්ව තිබූ “අත්” නාට්‍යයේ ජනප්‍රියත්වයට මෙන්ම එහි ගුණාත්මක භාවයටද, එවකට රූපවාහිනී තිරයේ බැබළුණ තාරකා බවට පත්ව සිටි ශ්‍රියන්ත මෙන්ඩිස්, ජැක්සන් ඇන්තනි, කමල් අද්දරආරච්චි, ග්‍රැන්විල් රොඩ්රිගු, මහේන්ද්‍ර පෙරේරා, වසන්ත විට්ටච්චි සහ සැනට් දික්කුඹුර ආදීන්ගේ ප්‍රතිභාවය ද දැඩි ලෙස බලපෑ බව ඉතා පැහැදිලිය.

සැනට් දික්කුඹුර මෙහි රඟපෑවේ බාර් කීපර්වරයකුගේ චරිතයකි. වේදිකාව මත ගොඩ නඟන ලද තරමක් උසැති කවුන්ටරයක් සහිත කදිම බාර් එකක් තුළ මෙන්ම ඉන් පිටතද සැනට්ට රඟපෑමට සිදුව තිබුණි. එක් මොහොතක කෝපයෙන් වියරු වැටී එතනට කඩා වදින ශ්‍රියන්ත මෙන්ඩිස් බාර් එක තුළ සිටින සැනට්ව අත් දෙකින් අල්ලා විදුලි වේගයෙන් එළියට ඇද ගන්නා අතර, ඒ සමඟම කෙළවරක ගැට ගසන ලද ගල් කැටයක් ලණුවකින් කරකවන්නා සේ සැනට්ව තුන් වරක් වේදිකාවට ඉහළින් කරකවා බිම තබන්නේ කේන්තියෙන් පොළවේ ගසන අයුරිනි. කොහොමටත් ප්‍රේක්ෂකාගාරයේ සිට අඩි හතරක් පමණ ඉහළින් වූ නාට්‍ය වේදිකාවේ උසටත් වඩා අඩි තුනක් පමණ ඉහළ උසකින් මේ ආකාර ප්‍රවේගකාරී රංගනයක යෙදෙන සැනට් හා ශ්‍රියන්ත ඒ මොහොතේ ප්‍රේක්ෂකයින් තුළ ඇති කරන්නේ අනපේක්ෂිත සන්ත්‍රාසයකි. ඉතාමත් වෙහෙසකාරී රංගන අභ්‍යාසයක් වන මෙය හරියටම තිතට අවසන් කරන ඔවුන් දෙදෙනා සිය ශරීර සමබර කර ගනිමින්ද, මානසික නොසන්සුන්තාවයකින් තොරවද, එතැන් සිට දිගින් දිගටම සිය රංගනය ඉදිරියට කරගෙන යති.

මෙම අවස්ථාව සඳහා බාර් එකෙහි වූ කුඩා බංකුවකට දෙපා තබා වෙර ගන්නා සැනට් තමා පිළිබඳ පූර්ණ වගකීම ශ්‍රියන්තට පවරා ලිහිල්කර ගන්නා කයෙන් යුතුව ඔහු වෙතට පනින්නේ බැරිවීමකින්වත් ශ්‍රියන්තට තමාව අත හැරුණහොත්, හතර හන්දි කැඩී බිඳී සදාකාලික අබ්බගාතයකු වීමට ඉඩ ඇති බව සම්පූර්ණයෙන් අමතක කර දමමිනි. එනම් තම සහෝදර නළුවා කෙරෙහි පූර්ණ විශ්වාසය තබමිනි. ඒ සඳහා තම කය ලිහිල් කර ගැනීමට අවශ්‍ය ප්‍රබල මානසික ශක්තියක් ඇතිකර ගනිමිනි. මේ මොහොතේදී තමා කෙරෙහි එවන් අසීමිත විශ්වාසයක් තැබීම පිළිබඳව සැනට් කෙරෙහි මහත් ගෞරවයකින් යුතුව ශ්‍රියන්ත මෙන්ඩිස් මෙම ලියුම්කරු සමඟද කතා කර ඇත.

මේ අවස්ථාව පිළිබඳ අප වැඩි අවධානයකින් කතාබහ කරනු ලබන්නේ දර්ශන වාර තුන් සියයයකට ආසන්න වූ අත් නාට්‍ය වේදිකාවේදි අන්කිසිම නළුවකුට සැනට් නොමැති අවස්ථාවකදී ශ්‍රියන්තගේ දෙඅත්වල රැඳී එකී රංගනයේ යෙදෙන්නට හැකියාවක් නොතිබුණු බැව් මමද පෞද්ගලිකවම දන්නා බැවිනි.

සැනට් දික්කුඹුර නමැති ප්‍රවීණයා රංගනය නමැති කාර්යයේදී අනෙකුත් බොහෝ නළු නිළියන්ගෙන් වෙනස් චරිතයක් වන්නේ මෙතනදීය. මක්නිසාද යත්, ඔහු එම රංගනයේ යෙදෙන්නේ තමා විසින් අතීතයේ දිනක ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේදී දෙස් විදෙස් ප්‍රවීණයින්ගෙන් ලැබූ සුවිශේෂ පුහුණුවක්ද මුල් කර ගනිමින් වන බැවිනි.

නමුත් අපූර්වතම කාරණය වන්නේ රංගනයෙහිලා මේ සා හැකියාවක් පෙන්වූ සැනට් පාඨමාලාවට සම්බන්ධවන්නේ රංගනය හැදැරීම සඳහා නොව වේදිකා පරිපාලනය ඉගෙන ගැනීම සඳහා වීමය.

එදා එම වැඩ මුළුව සඳහා ඇමෙරිකන් ජාතික නාට්‍ය ශිල්පීන් අට දෙනෙකු සහභාගී වූ අතර, ඒ සඳහා ට්‍රිලීෂියා ගුණවර්ධන, ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු එවකට යම් ප්‍රසිද්ධියකට පත්ව සිටි නළු නිළියන් කිහිප දෙනෙක්ද පැමිණ සිටියහ.

“ඒ මහත්තුරු අපි එක එක්කෙනා වේදිකාවේ කෙළවරට කැඳවලා, දැන් පිටිපසට හැරෙන්න කිව්වා. ඊට පස්සේ ඇඟ පණ නැති කරල පිටුපසට ඇදගෙන වැටෙන්න කිව්වා. බිම වැටෙන්න නොදී ඒ ගොල්ල අපිව අල්ලා ගන්නම් කියලා.”

එය අනෙකා කෙරෙහි වූ පූර්ණ විශ්වාසයකින් යුතුව තම මනස නිසි ලෙස හසුරුවාගෙන මුහුණ දිය යුතු අභියෝගයකි. මන්ද යත් වේදිකාවේ ඉදිරිපස කෙළවර සිට පසුපසට ඇද වැටෙනවා යනු කෙස් ගසක පමාවෙන් මරණීය අනතුරකට ලක්වීමකි. ඒ සඳහා පළමුවෙන්ම කැඳවනු ලැබුවේ පළපුරුදු නිළියක වූ ට්‍රිලීෂියා ගුණවර්ධනටය.

එහෙත් ඇය ඉංග්‍රිසියෙන් කුමක්දෝ පවසා එතැනම බිම ඇද වැටුණා මිස පසුපසට කඩා වැටීමෙන් වැළකුණාය.

ඊළඟ වාරය තිබුණේ සැනට්ට ය.

“ඇත්තටම ඒක ලේ වතුර වෙන වැඩක්”

සැනට් කියයි.

එහෙත් දෙපාරක් නොසිතූ සැනට් මොහොතකින් පිටුපසට ඇද වැටුණේ සියොළඟම පණ නැතිකර දමමිනි. අසුරු සැණෙකින් සුද්දන් කිහිප දෙනෙකුගේ දෙඅත්වලින් ඔහුව සුරැකිව අල්ලා ගන්නා ලද අතර, මේ පුංචි මිනිසා තුළ වූ විශාල ශක්තිය පිළිබඳව ඔවුහු මහත් ප්‍රසාදයකට පත් වූහ.

මේ ආකාරයට රංගනය අරභයා ඔවුන් දුන් ශිල්පය ඉතා ඕනෑකමින් උකහා ගත් නමුත් ඇත්ත වශයෙන්ම සැනට්ගේ මූලික අවධානය යොමු වී තිබුණේ වේදිකා පරිපාලනය සහ අභිරූපණ රංගනය සඳහාය.

සැනට් විසින් තෝරා ගත් වේදිකා පරිපාලනය නම් විෂය නාට්‍ය කලාව අරබයා කෙතරම් වැදගත් වුවද අප දන්නා තරමින් අද දවසේ මේ පිළිබඳව ප්‍රාමාණිකයින් සිටින්නේ කීප දෙනෙක් පමණකි. මේ අතරින් එක් අයෙක් සැනට්ය. මා දන්නා අනෙක් තැනැත්තා ජූඩ් ශ්‍රීමාල්ය. ඔහු එම පුහුණුව ලබා ඇත්තේ ජර්මන් ජාතික නාට්‍යකරුවකු වූ නෝබට් ජේ. මයර්, ජර්මානු සංස්කෘතික ආයතනය සහ ශ්‍රී ලංකාවේ ළමා හා යොවුන් නාට්‍ය ආයතනය හා එක්ව පවත්වන ලද පාඨමාලාවකිනි. ඒ පිළිබඳව සැනට් පුහුණුව ලබා ඇත්තේ ලයනල් වෙන්ඩ්ට් හි ගාමිණි ජයසූරිය ගෙනි.

අද මේ මොහොත වනවිට නළු නිළියන්ට මාළු පාන් සහ ඉඟුරු තේ ගෙනෙන තත්ත්වයට සීමා වී තිබුණ ද වේදිකා පරිපාලනය යනු අධ්‍යක්ෂවරයාගේ නිර්මාණය තම අතට ගෙන එහි කලාත්මක ගුණය නිසි ලෙස ඉස්මතුවන පරිදි ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කිරීමේ හැකියාවකින් සහ පෞරුෂයකින් යුතු පුද්ගලයෙකුගේ බරපතල රාජකාරියක් බව සැනට් පවසයි.

නාට්‍යයේ ආරම්භයේ සිටම වේදිකාව පාලනය කරන්නේ වේදිකා පාලකවරයා විසිනි. නාට්‍ය දර්ශනය සඳහා වේදිකාව සැකසීමේ පටන් ආලෝක ශිල්පියාගේ කටයුතු නාට්‍යයට ප්‍රමාණවත් අයුරින් සිදුවී තිබේදැයි දැන ගැනීම, අත් උදව්කරුවන් මෙහෙයවීම, පිටපත් සමඟ පෙළ මතක් කර දෙන්නන් පැමිණ සිටීදැයි සොයා බැලීම, මූලික වශයෙන් තිරය භාරව අවධානය යොමු කිරීම, නිසි වේලාවට සීනුව නාද කිරීම, නළු නිළියන් සඳහා ශාලාවේ ජල හා වැසිකිළි පහසුකම් තිබේදැයි සොයා බැලීම මෙන්ම හදිසියේ නළුවකු නොපැමිණියේ නම් එම චරිතය රඟපෑමටද සූදානමින් සිටීම ආදී වගකීම් රැසක් වේදිකා පරිපාලකවරයා මත පැටවී ඇත.

වේදිකා පරිපාලකවරයාට මේ ආකාරයට වේදිකාව මතට එන නාට්‍යයේ වගකීම් සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ඇඳුම් සමඟ සිදු කෙරෙන පුහුණුවීමේ දර්ශනයෙන් පසුව ය. නාට්‍යය වේදිකා ගතවීමෙන් පසු ඔහුට ලැබෙන බලතල කෙසේද යත් කෘතිය රඟදැක්වෙන කාලය තුළදී අධ්‍යක්ෂවරයාට පවා වේදිකාවට ඇතුළුවීම තහනම් කළ හැකි බැව් සැනට් පවසයි.

අධ්‍යක්ෂවරයා සැලසුම් කරගත් පරිදි හරියටම නියම උපකරණය නළුවා අතට සැපයීමට වේදිකා පරිපාලකට නොහැකිවීම පවා නාට්‍යයේ ගුණාත්මකභාවය අඩාල වීමට හේතු විය හැකි බව පවසන සැනට් විදුලි ආලෝක ධාරාවේ තීව්‍රතාවය දෙස බලා එය ප්‍රමාණවත්ද නැතිද කීමට පවා ඔහුට හැකියාවක් තිබිය යුතු බව කියයි.

නාට්‍ය කලාව හදාරන්නට ආ නමුත් සැනට් තුළ රඟපෑමට තිබුණේ ලජ්ජාවකි.

සමාජවාදී රඟ මඬලේ යූ එන් පී විප්ලවවාදියා

“මේ කාලෙ ආපු රෆායෙල් මොරෙල්ලෝ කියල විදේශික නාට්‍යකරුවෙක් විසින් ලියනු ලැබූ නාට්‍ය පිටපතක් ගාමිණී හත්තෙට්ටුවේගම විසින් “සෙබා වෙළඳ පොළට එයි” කියල සිංහලයට පරිවර්තනය කරල තිබුණා. මොරෙල්ලෝ මේ නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා නළු නිළියන් තෝරා ගන්න පටන් ගත්තා. සුනිලා අබේසේකර, ස්වර්ණා මල්ලවආරච්චි, සුනේත්‍රා රණසිංහ, පියසේන අහංගම, දයා තෙන්නකෝන්, විමල් කුමාර ද කොස්තා, ඩබ්ලිව්. ජයසිරි සහ මම ඇතුළු ඒ පිරිස ඉන්ටවීව් එකට ගියා. මම ගියේ වේදිකා පරිපාලනයට තෝරා ගනියි කියල. මොරැල්ලෝ මටත් චරිත නිරූපණයක් කරල පෙන්වන්න කතා කළා.”

“මෙයා තමයි අපේ නාට්‍යයේ ස්ටේජ් මැනේජර් විදියට තෝරාගෙන ඉන්නෙ. අපි එයාව ගෙනාවෙ රඟපාන්න නෙවෙයි.”

ගාමිණී හත්තෙට්ටුවේගම මොරැල්ලෝට පැවසීය. නමුත් රෆායෙල් මොරැල්ලෝගේ අදහස වූයේ, “ස්ටේජ් මැනේජර් කෙනෙක් අනිවාර්යෙන්ම රඟපෑම ඉගෙන ගන්නම ඕනෑ”ය යන්නය.

“කවුරුහරි නළුවෙකුට හදිසියේ එන්න බැරි වුණොත් ඒ චරිතය නිරූපණය කරන්න ස්ටේජ් මැනේජර්ට පුළුවන් වෙන්න ඕනෑ” ඔහු අවධාරණය කළේය.

“ඉතින් මම වේදිකාවේ පැත්තක තිබුණු කැඩුණු වේවැල් පුටුවක් ළඟට අරගෙන, ඒක වියන හැටි අභිරූපණයෙන් කරලා පෙන්නුවා. මොරැල්ලෝට ඒක අල්ලලා ගියා. එයාටත් ඕනෑවෙලා තිබුණේ ඒ වගෙ චරිතයක් අන්තිමේදී මාව පෙන්නලා කිව්වා මෙයා තමයි සෙබා කියල”

මොරැල්ලෝගේ තීරණයත් සමඟ රංගනය අරබයාද සැනට්ගේ ආත්ම විශ්වාසය වඩාත් ප්‍රබලව නැගී සිටි අතර, තම සිත තුළ පැළපදියම්ව තිබූ ලැජ්ජාව ද යළි නොඑන්නටම පලා ගියේය.

නමුත් මේ අතර රෆායෙල් මොරෙල්ලෝගේ මව හදිසියේ අසනීප වීම නිසා ඔහුට සියල්ල අතරමඟ නවතා දමා මව් රටට යෑමට සිදුවූ බැවින් “සෙබා වෙළඳ පොළට යයි ” නාට්‍යයේ වැඩ කටයුතු අතරමඟදී නතර වූයේය.

ගාමිණී හත්තෙට්ටුවේගමගේ මඟ පෙන්වීම යටතේ ලයනල් වෙන්ඩ්ට් හි පළමුවන නාට්‍ය හා රංග කලාව පිළිබඳ පාඨමාලාවට සහභාගී වන සැනට් දික්කුඹුර තරුණයා සමග ස්වර්ණා, රවීන්ද්‍ර, කොස්තා, දයා තෙන්නකෝන් ඇතුළු පිරිසක් මුල් අවස්ථාවේ සම්බන්ධ වී සිටි අතර චන්ද්‍රා කළුආරච්චි, ප්‍රීති පේරුකන්ද, ප්‍රේමතිලක පේරුකන්ද, සිරිසේන සූරිආරච්චි, පරාක්‍රම නිරිඇල්ල, එච්.ඒ. පෙරේරා, ලින්ටන් සේමගේ, ගාමිණී හෙට්ටිආරච්චි, සරත් අමරවංශ සහ ඉන්දික ප්‍රේමරත්න, ආදීන්ද පසුව මෙයට සම්බන්ධ වූ බව සැනට් පවසයි.

මේ පිරිසගේ ගුරුවරුන් වූයේ චන්ද්‍රසේන දසනායක, හෙන්රි ජයසේන, අර්නස්ට් මැකින්ටයර්, ගාමිණී විජේසූරිය ආදීහුය. විශේෂයෙන්ම සැනට් වේදිකා පරිපාලනය ඉගෙන ගත්තේ ගාමිණී විජේසූරියගෙනි. මේ කාලයේ ලංකාවට පැමිණ සිටි නෝබට් ජේ. මයර්ගේ උපදේශකත්වයෙන් සංස්කෘතික දෙපාර්තමේන්තුව සමඟ එකතු වී චන්ද්‍රසේන දසනායක විසින් ‘ටිකිරි මැණිකේ’ නමින් නාට්‍යයක් නිර්මාණය කරන ලදි. ගාමිණී විජේසූරිය, රංජිත් සුරංග, ශ්‍රියානි ෆොන්සේකා ආදීහු සම්බන්ධ වූහ. මෙම නාට්‍යයේ වේදිකා පාලනයට තෝරාගෙන තිබුණේ සැනට්වය. නමුත් හදිසි අනතුරකින් තම පියා මියයෑම හේතු කොට ගෙන, ඔහුට මෙම නාට්‍යයට සම්බන්ධ වීමට නොහැකි විය.

මේ සියලු බාධාවන් මධ්‍යයෙහි වූවද ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේ වේදිකා පරිපාලනය හොඳින්ම ඉගෙනගත් සිසුවා බවට පත් වූයේ සැනට් ය. ඉන් අනතුරුව පරාක්‍රම නිරිඇල්ල සහ තිලක් ගුණවර්ධන ද මේ විෂය පිළිබඳ ප්‍රාමාණිකයෝ වූහ. ඇන්ටන් චෙකොප්ගේ නාට්‍යයක පරිවර්තනයක් වූ පරස්තාව නාට්‍යයේ වේදිකා පරිපාලනයද සැනට්ට හිමි වන්නේ මේ අතරය.

“ඊළඟට කොරා සහ අන්ධයා නාට්‍යයේ වේදිකා පරිපාලනය කිරීමේ අවස්ථාව මට ලැබුණා. එයට හේතුව පරස්තාව නාට්‍යයේ වේදිකා පරිපාලනය මා විසින් සාර්ථකව ඉටුකර තිබීමයි.”

ඒ කාලයේ පළපුරුදු වේදිකා පරිපාලකයෙකු සඳහා ගෙවනු ලැබුවේ රුපියල් 15 ක මුදලකි.

“ධම්ම ජාගොඩ හුඟක් වෙලාවට ඒ මුදල ගෙව්වේ රුපියල් පහේ කොළ තුනක් විදියට දිග ලියුම් කවරයක දාල ලොකු ගෞරවයකින්” සැනට් පවසන්නේ බලවත් සතුටකිනි.

මින් අනතුරුව ඔහු සුගතපාල ද සිල්වාගේ “දුන්න දුනුගමුවේ”

නාට්‍යයේ වේදිකා පරිපාලකවරයා ලෙස මෙන්ම නිෂ්පාදන කළමනාකරු ලෙසද කටයුතු කළ අතර එහි සුළු චරිත නිරූපණයකද යෙදුණේය. හෙතෙම ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මෝරා’ නාට්‍යයේ අංග රචනය කිරීමෙන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ අතර එහි පසුතල නිර්මාණයෙහිද, තවදුරටත් සුළු චරිත නිරූපණයක ද නිරත විය. මේ ආකාරයට සිංහල නාට්‍ය වේදිකාවට සමාන්තරව ඔහු මෙතෙක් ආ ගමන් මඟ දශක පහකට වැඩි වුවද ඔහු විසින් රඟපා ඇති සහ සම්බන්ධ වී ඇති නාට්‍ය ප්‍රමාණය 50 ඉක්මවා නැත. ඒ අතර කොරා සහ අන්ධයා, සෙක්කුව, පරස්තාව, අත්, මෝරා, දුන්න දුනුගමුවේ, ගඟට උඩින් කොක්කු ගියා සහ දැති කියත ආදී නාට්‍ය ගණනාවක් විය.

වේදිකා නාට්‍යය හැරුණු කල ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව, ස්වරූප සහ සක්කාරං, ප්‍රසන්න විතානගේ ගේ පවුරු වළලු, මෙන්ම පසුව නව නිෂ්පාදනයක් ලෙස එළිදුටු කොළඹ සන්නිය චිත්‍රපටියේ ප්‍රධාන චරිතයක් ද ඔහු විසින් නිරූපණය කරනු ලැබීය. මීට අමතරව කලකට ඉහත ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ ළමා ටෙලිනාට්‍ය මාලාවක ලොක්කෙ මාමා වූයේද සැනට්ය. මේ හැරුණු කළ මෑත යුගයේ විකාශනය වූ මෙගා ටෙලි කීපයකද ඔහු විසින් චරිත නිරූපණය කරනු ලැබීය. මේ සමඟ කිවයුතු තවත් දෙයක් වන්නේ සෙක්කුව නාට්‍යයේ ආරම්භක නළුවකු වූ ඔහු එහි චරිත පහක් නිරූපණය කළ බවය.

අඩ සියවසක් ඉක්මවා ඇති සැනට් දික්කුඹුරගේ දිවි පෙවෙත යනු සිංහල නාට්‍ය වේදිකාව හා බැඳුණු එක්තරා ඉතිහාසයකි. ඔහු නාට්‍ය වේදිකාවේ හතර කොණ හොඳින් දන්නා නාට්‍ය ශිල්පීන් කීප දෙනාගෙන් එක් අයෙකි. අනෙක් පැත්තෙන් ගත්කල ලංකාව මුළුල්ලේ වූ තමා රඟපෑ සියලු වේදිකාවල දිග පළල උස ආදී වශයෙන් වූ හෞතික ස්වභාවය ද සටහන් කර ගැනීමේ යෙදුණෙකි. තමා රඟපෑමේ යෙදෙන නාට්‍ය වේදිකාව අරබයා දැඩි භක්තියකින් හෙබි සැනට් තමා සහභාගී වූ සෑම නාට්‍ය දර්ශනයකින්ම පසු කොස්සක් ගෙන එය අතු ගා පිරිසිදු කිරීම සිරිතක් කොට ගත්තෙකි. වේදිකාව මත භෞතිකව කුණු රොඩු තිබීම මෙන්ම එය මත පෙනී සිටින ආධ්‍යාත්මික කුණු ගොඩවල්ද ඔහු එකසේම ප්‍රතික්ෂෙප කරයි. නාට්‍ය ක්‍ෂේත්‍රයේ ද ප්‍රවීණයෙකු වන ජයන්ත චන්ද්‍රසිරි පවසන පරිදි සැනට් නාට්‍යයක නළු නිළි කණ්ඩායම පවුලක් ලෙස සලකන්නෙකි.

නමුත් වේදිකාව මත පවුලක් ලෙස රඟපාන පිරිසක් විනා ඇත්තටම එවැනි පවුලක් නැති බැවින් ඔහුට සිදුව ඇත්තේ පවුලෙන් පිටමං වූවෙකු ලෙස ජීවත් වන්නටය.

“මම රඟපාපු හැම නාට්‍යයක්ම සමාජවාදෙ ගැන කියවෙන ඒවා. ඒවායෙ රඟපාපු තරමක් රඟපෑවෙ සමාජවාදියො. හැබැයි වේදිකාවෙ නොතිබුණෙත් ඒකම තමයි.”

මේ සැනට් වරක් කියූ කතාවකි. ඒ කතාවට අපූර්වත්වයක් එකතුවන්නේ ඒ සමගම ඔහු කියූ මේ කතාව ද නිසාය.

“සමාජවාදී නාට්‍යවල රඟපාපු එකම යූඇන්පීකාරයා මම විතරයි.”

එය විහිළුවට කී කතාවක් නොවේ. ඇත්තටම ඔහු යූඇන්පී කාරයෙකි. අලියාගේ පැත්තේ මිනිසෙකි. නමුත් සිය වේදිකා පරිපාලන හැකියාව දේශපාලනඥයින්ට කඩේ යෑමට යොදා නොගත්තෙකි.

කලා ක්‍ෂේත්‍රයේ මෙන්ම තමා අනුගත අලියාගේ පක්ෂය කෙරෙහි ද, එකසේ අවංක මිනිසකු වූ ඔහුට තනි අලියකු සේ මේ දෙමඟෙහිම ඇවිද යන්නට සිදුව ඇත්තේද එහෙයින්මය.

● තිස්ස ප්‍රේමසිරි

advertistmentadvertistment
advertistmentadvertistment