සය නිවුන් දරුවන්ගෙන් එක් ළදරුවෙක් මියයයි

286

කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේදී උපත ලැබූ පිරිමි සය නිවුන් දරුවන් ගෙන් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව ළදරු ජන්ම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ළදරුවා මියගොස් ඇතැයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සන්තුෂිත සේනාධිපති මහතා ‘දිවයින’ට ඊයේ (18 දා) පැවසීය.

වෙන්ටිලේටර් යන්ත්‍රයේ ආධාරයෙන් සිටි මෙම දරුවා බේරා ගැනීමට සිය වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය දැඩි උත්සාහයක නිරත වූ බව ද හෙතෙම කීය.

දරුවාගේ පෙනහලුවලට රුධිරය ගලායෑම හේතුකොට ගෙන මරණය සිදුව ඇතැයි ද රෝහල් නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා කියා සිටියේය.

මේ තත්ත්වය නොමේරූ දරුවන්ට සිදුවන සංකූලතාවයක් බව ද හෙතෙම කීය.

මව්කුසේ සති 26ක් සිට උපත ලැබූ එම දරුවා ග්‍රෑම් 600ක බරකින් යුත් දරුවකු බව ද හෙතෙම කියා සිටියේය.

මේ අතර කොළඹ කාසල් වීදිය කාන්තා රෝහලේ නව ළදරු ජන්ම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ තත්ත්වය ගැන එම රෝහලේ නව ළදරු ඒකකය භාර ළමා රෝග විශේෂඥ වෛද්‍ය එල්. පී. සී. සමන් කුමාර මහතාගෙන් විමසා සිටියෙමු.

රෝහලේ නව ළදරු ජන්ම දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන දරුවන් පස්දෙනාගේ තත්ත්වය තාමත් අවදානම්. දරුවන්ව කාර්ය මණ්ඩලය ඉතා හොඳින් රැකබලා ගන්නවා. මේ වගේ දරුවන්ට පිටිකිරි දෙන එක හොඳ නැහැ. මොකද පිටි කිරි දුන්නොත් ඒ දරුවන්ගේ බඩවැල් පුපුරන්න පුළුවන්. තව අම්මා කෙනෙකුගෙන් ලබාගෙන ගබඩා කර ඇති කිරි දරුවන්ට ලබාදීමේ හැකියාව තිබෙනවා.

අප කාසල් වීදිය කාන්තා රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතාගෙන් විමසූවිට කියාසිටියේ දරුවන් යහපත් සෞඛ්‍ය මට්ටමට ගෙන ඒමට තම කාර්ය මණ්ඩලය උපරිම උත්සාහයක නිරත වන බවය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment