ගුවන් ගමන් 30ක් අවුල් ඊයේත් 8ක් අවලංගුයි

3268

අර්බුද මැද කරන සේවය ගැන කවුරුත් සතුටුවිය යුතුයි-ශ්‍රී ලන්කන් සභාපති කියයි

ඉකුත් සති දෙකක පමණ කාලයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගුවන් ගමන් වාර තිහක් පමණ අවලංගු හා ප්‍රමාද කර ඇතැයි එහි උසස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මෙලෙස ගුවන් ගමන් වාර අවලංගු හා ප්‍රමාදවීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ගුවන් නියමුවන් හා ඉංජිනේරුවන් සිය දීමනා හා වැටුප් ඉහළ දමා ගැනීමට අදාළව ආරම්භ කර තිබෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග යැයි ද හෙතෙම කීය. ඊයේ (21 වැනිදා) දිනයේත් ගුවන් ගමන් වාර අටක් අවලංගු කළ බවද හෙතෙම පැවසීය.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක පතිරගේ මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තම ගුවන් සමාගම සතුව අවශ්‍ය පමණට ගුවන් යානා නොමැතිවීම ප්‍රධාන ප්‍රශ්නය වී ඇති බවයි. ඊට අමතරව තවත් යම් යම් හේතු මත ගුවන් ගමන් වාර අවලංගු හා ප්‍රමාද වන බවද ඒ මහතා කීය.

මේ මොහොතේ රටේ පවතින අර්බුද මත තම ගුවන් සේවාව උපරිම ලෙස සිය සේවාව පවත්වාගෙන යෑම පිළිබඳ කොයි කවුරුත් සතුටු විය යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment