සුගතදාසයට තුන්දාහක් ගේන්න බැරිව ජනාධිපතිවරණයක් දිනන්නේ කොහොමද?

843

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා වර්තමානයේ ජ.වි.පෙ. ජාත්‍යන්තර දේශපාලන කටයුතු අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි. ලෝකයේ තිබෙන කුමන බල කඳවුරක් සමග වර්තමානයේදී ජ.වි.පෙ ය කටයුතු කරන්නේද? පවතින දේශපාලන සංක්‍රාන්ති සමය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි දේශපාලනය කෙබඳු වේද යන්න ඇතුළු තවත් ප්‍රශ්න ගණනවක් මෙවර අපි ඔහු හමුවේ තැබුවෙමු. මේ ඊට ඔහුගේ ප්‍රතිචාරයයි.

අරගලයෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට විශාල ජන බලයක් ගොඩනැගෙමින් පවතින බව පෙණුනා. නමුත් මැතිවරණ දිනෙන් දින කල් දැමීමත් එක්ක ගොඩනැගෙමින් පැවති ඒ ජනතා රැල්ල දියාරුවෙලා ගිහින් වගේ නේද?

නෑ එහෙම දියාරු වෙලා නැ. මැයි පළවෙනිදා තිබ්බ මැයි දිනයෙදි අනෙකුත් පක්ෂ තිබ්බ මැයි රැලිත් එක්ක බැලුවොත් කාටද ජන සහභාගීත්වයක් තිබ්බෙ කියල පේනවා. මිනිස්සුන්ට විශාල ආර්ථික ප්‍රශ්න තිබියදි තමයි ඒ ජන සහභාගීත්වය තිබුණේ. හැබැයි ඉතින් මැතිවරණයක් නැති විට මැතිවරණ ක්‍රියාකාරකම් අඩු වෙද්දි කෙනෙකුට එහෙම කියන්න පුළුවන්. හැබැයි ඔබ දැක්කද දන්නෙ නෑ මැතිවරණය කල් දාල තියෙද්දිත් අපි කරපු හලාවත රැලියට විශාල ජන සහභාගීත්වයක් තිබුණා. අනුර සහෝදරයා කොරියාවේ ගිය වෙලේ විදේශගත ප්‍රජාව එක්රොක් වුණා. ඒ නිසා ඇත්තටම ජනතා විමුක්ති පෙරමුණට රැල්ල අඩු වීමක් නෙවෙයි තියෙන්නෙ, මැතිවරණය කල් දාපු නිසා මේ දූෂිත ක්‍රමය වෙනස් කරන්න තිබුණ අවස්ථාව පස්සට ගිය එක ගැන ජනතාවගේ තරහක් තිබෙන්නෙ. මැතිවරණය තිබ්බාම ඒක කොහොමද කියල බලා ගන්න පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණේ රැලිවලට ජන සහභාගීත්වය ඉතිහාසය පුරාම තිබුණ බව අපි දැකල තියෙනවා. නමුත් ඡන්දයකට ගියාම ලැබෙන ප්‍රතිඵලය ඊට වෙනස්. තවමත් ඔබලා සිටින්නෙ රැලිවලින් ජන මතය මනින තැනද?

ඔබ කියන කාලවලදි ජනතා විමුක්ති පෙරමුණේ රැලිවල සෙනඟ සිටිනවා වගේම අනෙක් ප්‍රධාන පක්ෂවල රැලිවලත් සෙනඟ සිටියා. නමුත් මේ අවස්ථාවෙදි ඒ ප්‍රධාන පක්ෂ දෙකටම වඩා හත් අට ගුණයක සෙනඟක් අපේ රැලියේ ඉන්නවා අපි දැක්කා. ඉතින් එහෙම හිතන්නත් පුළුවන්. ඒ වගේම ජන මතය පිළිබඳ සමීක්ෂණ කරපු ආයතනවලින් නිකුත් කළ ප්‍රතිඵලවලින් පෙන්නුම් කරල තිබෙනවා ජනතා විමුක්ති පෙරමුණ කෙරෙහි තිබෙන ජනතා කැමැත්ත. මේ දූෂිත ක්‍රමය ගැන කලකිරිල ජනතාව අපේ ළඟට ආව එක වෙනස් වෙන්න මොකක්ද තිබෙන හේතුව? මැතිවරණය කල් දැම්මට පස්සෙ ජනතාව රනිල් ළඟට හරි සජිත් ළඟට හරි යන්න මොකක්ද තියෙන හේතුව? එහෙම යන්න තරම් හොඳක් වෙලා නෑනෙ. ආර්ථික ප්‍රශ්න, දූෂණය, රට විකිණීම, වංචා, පවුල් වාදය මේවට එරෙහිවනෙ ජනතාව අපි වටා එකතු වෙන්නෙ. දැන් ඒ එකතු වුණ ජනතාව ආ පිට යන්න ඒවා වෙනස් වෙලා තියෙනවද… නෑ. ඒ නිසා තාර්කිකව ගත්තත් ගමට නගරයට ගිහින් බැහැල බැලුවත් තේරෙනවා ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ ජඩ දූෂීත දේශපාලන ක්‍රමය වෙනස් කරන්න. ජනතාව ආර්ථිකයෙන් වැඩියෙන් බැට කෑවා වුණාට ජේ ආර් ලගේ ඉඳන් වසර ගණනාවක් මේ අය ඇති කරපු ත්‍රාඩ දේශපාලන ක්‍රමය වෙනස් කිරීමයි ජනතාවට අවශ්‍ය වෙලා තියෙන්නෙ. ජනතාව ජ.වි.පෙ. ළඟට එන්නෙ ජනතාව දන්නවා ඒ පවුල්වාදි ජඩ දූෂිත දේශපාලන ක්‍රමය අපේ පක්ෂයේ නෑ කියල. ඒක නිසා මේ ඇතිවෙච්ච ජනතා කැමැත්ත අවබෝධයෙන් ඇතිවුණ එකක්.

දැන් තෙල් පෝලිම් නැ. ගෑස් පෝලිම් නෑ. නිකන් ආර්ථික අර්බුදයක් තිබුණේ නෑ වගේ. කතාවක් තියෙනවා අපේ මිනිස්සුන්ට ඉක්මනටම හැම දෙයක්ම අමතක වෙනවා කියල. දැන් වෙලා තියෙන්නෙ ඒක නෙවෙයිද?

දැන් මැතිවරණයක් තිබ්බොත් ජනතාව ඒවා මතකද නැද්ද කියල පෙන්වයි. තෙල් පෝලිම් තියෙන වෙලාවේ ලංකාවට ගෙන්වපු තෙල් ප්‍රමාණය වගේ තුනෙන් පංගුවයි දැන් ලංකාවේ තෙල් පාවිච්චි කරන්නෙ. මිනිස්සු තෙල් ගහන්නෙ නෑ. දැන් රටේ ආර්ථිකය හැකිලිලා තියෙන්නෙ. රනිල් රාජපක්ෂලා දන්නවා ඇත්ත ඒකයි කියල. ඒකට බය නිසා තමයි ඡන්දය කල් දාන්නෙ. එහෙම ජනතාවට ඔක්කොම අමතක නම් එයාල මෙලහකට ඡන්දය තියල. ඔවුන් දන්නවා ඡන්දය තිබ්බොත් පාලන බලය අපි අතට එනවා කියල. ඒකට බය නිසා තමයි ව්‍යවස්ථාව කඩල උසාවිය බල්ලට දාල ඡන්දය කල් දාල තියෙන්නෙ.

ඡන්දයකුත් නෑ. පවතින දේශපාලන තත්ත්වය මොකක්ද කියල ජනතාවට හිතා ගන්නත් බෑ. මෙහෙම වාතාවරණයක් තුළ මොකක්ද දැන් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන භූමිකාව වෙන්නෙ?

ඉතා ඉක්මනින් රනිල් රාජපක්ෂගේ මේ දූෂිත නඩය පන්නලා ආණ්ඩු බලය ගන්න එකයි මේ මොහොතේත් ජනතා විමුක්ති පෙරමුණේ භූමිකාව. ඒ වෙනුවෙන් තමයි අපි සියලු දේවල් කරන්නෙ. අපේ දේශපාලන ක්‍රියාකාරිත්වය පෙළගස්වල තියෙන්නෙ. දැනට එයාල අනීතිකව මැතිවරණය කල් දාල තිබුණට අපි දන්නවා ඉතා ඉක්මනින්ම මැතිවරණයකට යන්න වෙනවා කියල. එදාට ජනතාව තීන්දුව ගන්න තැනට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කෙරෙනවා.

වැඩ වර්ජන නිසා තමයි මේ රට හදන්න බැරි. ජනතා විමුක්ති පෙරමුණ තමයි මේ වර්ජන පිටුපස සිටින්නෙ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරු වැඩ වර්ජනත් එක්ක මෙන්න මේ චෝදනාව ජනතා විමුක්ති පෙරමුණ දෙසට එල්ල වෙමින් තිබෙනවා?

ඔබ මේ ප්‍රශ්නය අහන මොහොතෙදී ඇමරිකාවේ හොලිවුඩ්වල තිර පිටපත් රචකයෝ ස්ට්‍රයික් කරනවා. දැන් මාසයක ඉඳන් ප්‍රංශයේ දහස් ගණන් කම්කරුවෝ ස්ට්‍රයික් කරනවා. වැඩ කරන මිනිස්සුන්ගෙ ඉල්ලීම්වලට පාලකයා අහන්නෙ නැති වුණාම සාමුහිකව කේවල් කරන්න තියෙන අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීතියෙන් පිළි අරන් තියෙනවා. ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුද නැත්නම් විදුලි බල සේවකයො ද කව්රුහරි ස්ට්‍රයික් කරනව නම් එහෙම වෙන්නෙ සාකච්ඡාවලින් ඒවා පාලකයෝ විසඳන්නෙ නැති නිසා. ඒ නිසා ඒවයේ වැඩි වගකීම එන්නෙ පාලකයන්ට. සේවකයෝ ස්ට්‍රයික්වලට තල්ලු වෙන්නෙ පාලකයෝ සාකච්ඡාවලින් ඒවා විසඳන්න අසමත් නිසා. දැන් මෙච්චර මෙහේ උසස් පෙළ ළමයින්ගේ ප්‍රශ්නයක් තියෙද්දි ඒක විසඳන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට වෙලාවක් නොදී රනිල් වික්‍රමසිංහ චාල්ස්ගෙ රාජාභිෂේකයට යනවා. පාලකයෝ හැමදාම කරේ මේ වගේ ප්‍රශ්නයක් ආවම ඒක විසඳන්න දක්ෂතාවයක් නැති වුණාම ඒ වැඩ වර්ජනය කරන සේවකයන් සහ ජනතාව අතර ගැටුමක් ඇති කරනවා. හැබැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙ සහ ගුරුවරුන්ගෙ වෘත්තීය සමිති ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නෙවෙයි. සාමාජිකයෝ එක්කෙනෙක් දෙන්නෙක් හිටියට එවා ජ.වි.පෙ. ඒවා නෙවෙයි.

අයි. එම්. එෆ්. ණය ලැබීම ගැන දැන් ඔබල දරපු ස්ථාවරය වෙනස් වෙලාද?

නෑ අපි ඒ ස්ථාවරයේම තමා ඉන්නෙ. අයි. එම්. එෆ්. ණය කියන්නෙ තමන්ට තනියෙන් මේ රටේ පාලන බලය ගෙනියන්න බැරිව හිටපු රනිල් රාජපක්ෂලාට තව මාස තුන හතරක් ජනතාවට බොරු කියල ලණුවක් දෙන්න ගහපු දේශපාලන ජැක් එකක්. අනෙක් පැත්තෙන් මේ රටට ණය ගෙවා ගන්නම බැරි වුණොත් කලින් දුන්න රටවල ණය කොහොත්ම ගන්න විදියක් නැති නිසා ඒවා කොටසක් හරි ගෙවාගෙන යන්න තමයි ඔවුන් ණය දීලා තියෙන්නෙ. මොකද අයි. එම්. එෆ්. ණයවලින් ආර්ථිකය දියුණු වෙලා නෑනෙ. වෙලා තියෙන්නෙ එයාලගේ කොන්දේසි අනුව වැට් බද්ද දෙගුණයකින් වැඩි කරල ජනතාව තවත් දුප්පත් වුණා. විදුලි බිල වැඩි කළා, ඒකෙන් සාමාන්‍ය ව්‍යාපාර කඩා වැටෙමින් යනවා. ආර්ථිකයක් හදන්න දුන්නයි කියන ණයෙන් වෙලා තියෙන්නෙ ආර්ථිකය හැකිලෙන එක. එක ඩොලර් එකක් හරි උපයන මාවතක් අයි.එම්.එෆ්. එකෙන් හදල දීල නෑ.

අයි.එම්.එෆ්. ණයෙන් පවතින අර්බුදය යම් තාක් පාලනය කරගෙන උතුරේ ඡන්දත් දිනාගෙන, ස.ජ.බ. පිරිසකුත් කඩාගෙන පොහොට්ටුවේ පිරිසකුත් අරගෙන ජනාධිපතිවරණයකටම යන්නයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපක්‍රමය වී තිබෙන බව පේන්නෙ. එහෙම වුණොත් ජ.වි.පෙ. ට විශාල අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වෙනවා නේද?

අපිට කිසි අවාසියක් නෑ. පුළුවන් නම් රනිල්ට හෙට ජනාධිපතිවරණය තියන්න කියන්න. මොකද උතුරේ ජනතාව මෝඩයෝ නෙවෙයි. අවුරුදු සීයකට ආසන්න කාලයක් උතුරේ ජනතාව රවට්ටලා තියෙනවා ඔය බලය බෙදනවා කියන කැරට් අලය පෙන්නල. 2015 දී බලය ගත්ත රනිල් ටී.එන්.ඒ. සංවිධානයට ඔය කැරට් අලය දික් කර කර පාර්ලිමේන්තුවේදී ටී.එන්.ඒ. ඡන්ද ටික ගත්තා. ඒක දන්න ටී.එන්. ඒ. නායකයෝ දැන් කියන්නෙ කිසිසේත් රනිල් එක්ක එකතු වෙන්නෙ නෑ කියල. ඒක නිසා මේ රටේ මොන ඡන්දය තිබ්බත් උතුරේත් දකුණෙත් ජනතාව මේ දුෂ්ට දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගය දිනවන්න තීන්දු කරල ඉවරයි. ඒ නිසා තමයි මේ අය ප්‍රාදේශීය සභා ඡන්දය විතරක් නෙවෙයි සමුපකාර ඡන්දය පවා අවලංගු කරන්නෙ. අනික ඕවයේ කිසි පදනමක් නෑ. මේ රනිල් කරන්නෙ එදා වේල රැකගන්න මොකක් හරි බොරුවක් කියන එක. ජනාධිපති නිසා මාධ්‍ය ඒවා උස්සන් දුවනවා. අර සුගතදාස ස්ටේඩියම් එකට තුන්දාහක් ගේන්න බැරිව ජනාධිපතිවරණයක් දිනන්නෙ කොහොමද…

උතුර දිනා ගැනීමේ වැඩපිළිවෙළක් ජාතික ජන බලවේගයට තිබෙනවා කියලත් පේන්න නෑනෙ?

ඉතා පැහැදිලිවම උතුරේ ප්‍රධාන දේශපාලන පක්ෂ වසර සීයක විතර ඉඳන් ඒ ජනතාව මත පදනම් වෙච්ච දේශපාලන පක්ෂ තිබෙන්නෙ. නමුත් අද රටේ ජාතික සමගිය පිහිටුවන්න පුළුවන් දේශපාලන පක්ෂය ජ.වි.පෙ. ප්‍රමුඛ ජාතික ජන බලවේගය කියල උතුරේ ජනතාවත් අවබෝධ කරගෙන ඉන්නෙ. මොකද උතුරටත් දකුණටත් සම අයිතිවාසිකම් මත සැමටම පිළිගත හැකි විසඳුමක් අපි යෝජනා කරනවා කියන එක අපි හැම විටම දැරුව ස්ථාවරය. ඒ නිසා උතුරේ සහ නැගෙනහිර ජනතාවගේත් මීට කලින් තිබුණට වඩා විශාල සහයෝගයක් අපිට දැන් ලැබෙනවා. ඇත්තටම මේ රටේ උතුරයි දකුණයි එකතු කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න පුළුවන් අපිට විතරයි. අපි උතුරට ගිහින් එකකුයි දකුණට ගිහින් තව එකකුයි කියන්නෙ නැ.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබා ගැනීම සම්බන්ධව ජ.වි.පෙ. දැන් තරමක් නිහඬව ඉන්නෙ ඇයි?

අපි නිහඬ නෑ. ඒ වෙනුවෙන් කරන උද්ඝෝෂණවලට මැදිහත් වෙනව. ජාත්‍යන්තර වශයෙන් ඒ වෙනුවෙන් කරන වැඩසටහන්වලටත් මැදිහත් වෙමින් ඉන්නවා. අපි ඉල්ලා සිටින්නෙ මේකෙ ඉන්න මහ මොළකරුවෝ අත්අඩංගුවට ගන්න කියන එක. හැබැයි අපිට පාස්කු ප්‍රහාරය කියන්නෙ දේශපාලන ආයුධයක් නෙවෙයි. නමුත් මේක ජාතික හෘද සාක්ෂියේ ලොකු ප්‍රශ්නයක්. මොකද මේ මහා මිනීමැරුම් කරපු මහ මොළකරුවෝ තාමත් පාලන බලයේ ඉන්නවා. ඒ නිසා මේ ප්‍රශ්නයට විසඳුමක් නොදී සමාජයකට ඉස්සරහට යන්න බෑ කියන තැනත් අපි ඉන්නවා. හැබැයි දැන් මේ පරීක්ෂණ කෙරෙන්නෙ මිනීමරුවෝ නිදහස් කරන තැනට බව අපිට පේනවා.

ඉස්සර ඇමරිකාවට බැණ බැණ හිටපු ජනතා විමුක්ති පෙරමුණ දැන් ඉන්නෙ ඇමරිකාවේ ඔඩොක්කුවේ කියල සමහරු චෝදනා කරනවා. ඇත්තටම ජ.වි.පෙ. දැන් ඉන්නෙ ලෝකයේ තිබෙන බල කඳවුරුවලින් කොයි පැත්තේද?

අපි 1995 ඉඳන්ම අපි ලංකාවේ තිබෙන සෑම තානාපති කාර්යාලයකම තානාපතිවරුන් එක්ක දේශපාලන සබඳකම් පවත්වලා තිබෙනවා. පසුගිය කාලයේ සිදුවුණු දේ තමයි ජ.වි.පෙ. විශාල ජනතා බලයක් බවට පත්වෙමින් එන බව දැණුනට පස්සෙ ලංකාවේ ක්‍රියාශීලි සහ ලංකාවේ දේශපාලනය ගැන උනන්දු වන තානාපති අංශ අපිත් එක්ක වැඩිපුර සම්බන්ධ වෙන්න උත්සහ කළා. ඒක ඇත්ත. හැබැයි දැන් ඉස්සර වගේ ලෝකයේ බල කඳවුරු දෙකක් නෙවෙයි තිබෙන්නෙ. බල කඳවුරු ගාණක් තිබෙනවා. තනි සුපර් පවර් එකක් කාටවත් නෑ. අපි සමාජවාදය විශ්වාසය කරල වැඩ කරත් මේ හැම දෙනෙක් එක්කම අපිට එයාල එක්ක එකට වැඩ කරන්න පුළුවන් හැම තැනදිම දේශපාලනික කටයුතු කරනවා. අපි එතනදි කාගෙවත් ගුඩ් බෝයි හරි බෑඩ් බෝයි වෙන්නෙ නැතිව වැඩ කරන් යනවා.

සාකච්ඡා කළේ
තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment