රටට බඩගිනියි ඉඳුල්වත් නෑ !

162

දෛනිකව ඉවත දමන ලද ඉඳුල් මෙට්‍රික් ටොන් 300, 180 ට බසී

ජාත්‍යන්තරයෙන් අනතුරු ඇඟවීම්

වැටි වැටී නැගිටිමින් යන්නං වාලේ ගිය මෙරට ආර්ථිකය මේ මොහොතේ පවතින්නේ මරණාසන්නව ය. කලක පටන් සකලවිධ ව්‍යාධීන්ගෙන් බැට කෑම හේතුවෙන් එලෙස රෝගී තත්ත්වයට පත් ආර්ථිකය කෙළින් කිරීම පිණිස පාලකයන් විසින් ගොඩ වෙදකම් කළා මිස රෝගය නිට්ටාවට සුව කිරීම පිණිස විධිමත් හා විද්‍යාත්මක තෝරා ගැනීම් කිසිවක් නොවීය. ණයට ගත් මුදලින් ගල්, ගඩොල් මිලදී ගනිමින් රටට ඔරොත්තු නොදෙන ආකාරයේ මහා පරිමාණ ඉදිකිරීම් සිදු කරමින් මතුපිටින් රට සුරපුරයක් බව ඒත්තු ගැන්වීමට ගත් සියලු උත්සාහයන්ගේ ශේෂ පත්‍රය මේ වනවිට නිකුත් වී හමාරය. එය ලෝක මට්ටමින් ගත් කල වර නැගෙමින් පවතින්නේ ලොව වඩාත් අනතුරුදායක සහ අස්ථාවරම රටවල් පහ අතරට ශ්‍රී ලංකාව මේ වනවිට අයත් බවය.

මෙම සටහන තබනු ලබන්නේ එම සන්දර්භය තුළ හිඳිමින්ය. ඒ අනුව අප විසින් ලබා ගෙන ඇති විදේශ ණය මුදල ඩොලර් බිලියන 52 කි. (ඩොලර් මිලියන 52000) දේශීයව ලබා ගෙන ඇති ණය කන්දරාව රුපියල් ට්‍රිලියන 15 කි. (රුපියල් බිලියන 15000) රටක ආර්ථිකය මරණීය මංචකය දක්වා මෙතරම් කඩිනමින් ළඟා වන්නේ ගත් ණය පියවා ගැනීමට නොහැකිවීම හේතුවෙන්ය. එසේත් නැත්නම් තවදුරටත් ණය මත යැපීමට තරම්වත් යහපත් වටපිටාවක් නිර්මාණය කර ගැනීමට රටක් ලෙස අප අසමත්වීම හේතුවෙන් ය. ණයට ණය වූ රටක වත්මන් මුහුණුවර මේ වනවිට විවිධ මාදිලියෙන් මතුපිටට පැමිණෙමින් තිබෙන අතර රටම ‘බඩගින්න’ පිළිබඳ බරපතළ ගැටලුවක හිරවී ඇත.

සමාජයේ පහළම ස්ථරය නියෝජනය කරන මිලියන ගණනක් වූ ජනතාව වේලක් හැර වේලක් ගෙන හෝ බඩ පුරවා ගැනීමට නොහැකි වී ඇත. එහි අතුරු ප්‍රතිඵල ලෙස බොහෝමයක් පවුල් සංස්ථා පුපුරා යන මට්ටමට පැමිණ ඇත. තවත් පැත්තකින් බරපතළ අපරාධ රැල්ලක් රට පුරා ක්‍රියාත්මකය. හොරකම, මංකොල්ලය නතර කළ නොහැකි තරමින් වර්ධනය වෙමින් ඇත.

ශිෂ්ට සම්පන්න සමාජයක් පිණිස අත්‍යන්තයෙන් පැවතිය යුතු විනය, හික්මීම ජන සමාජයෙන් පලා යමින් ඇත. රටේ ජනතාවට යන්තමින් හෝ හුස්ම ගැනීමට සිදුව ඇත්තේ එවැනි අයහපත් වාතාවරණයක් තුළය. මෙම තත්ත්වය ඉදිරියට තව තවත් අයහපත් මුහුණුවරක් ගනු ඇතැයි වගකිව යුතු පාර්ශ්වයන් මේ වනවිටත් අනතුරු හඟවමින් සිටින අතර රටේ වැඩිම ජන ඝනත්වයක් සහිත බස්නාහිර පළාත මුල් කර ගනිමින් ඒ පිළිබඳ පළමු රතු නිවේදනය ඉකුත්දා නිකුත් කරන ලද්දේ බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ නලීන් මාන්නප්පෙරුම මහතා විසින්ය. එම සංවිධානයේ නවතම සමීක්ෂණ හා පර්යේෂණවලට අනුව මෙරට ජනතාවගෙන් මිලියන 07 ක් (ලක්ෂ 70 කට) ආසන්න පිරිසක් දරුණු ආහාර අර්බුදයක් මුව විටය. ප්‍රමාණවත් තරම් ආහාර සපයා ගැනීමට මඟක් ඔවුන්ට නැත. උග්‍ර මුදල් අහේනිය හේතුවෙන් මිලදී ගැනීමේ ශක්තිය ඔවුන්ගෙන් පලා ගොස් බොහෝ කල්ය. ඉදිරි මාස කීපය ඇතුළත මේ තත්ත්වයේ වර්ධනයක් ඇතිවීම කිසිවෙකුට වළක්වාලිය නොහැකි බවට ද බස්නාහිර පළාත් ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය විසින් අනතුරු අඟවා ඇත. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටින්නේ බස්නාහිර පළාතේ නිවාස ඇතුළු වෙනත් ස්ථානවලින් ඉවත් කරන පිසූ ආහාර අපද්‍රව්‍ය ප්‍රමාණය සියයට 40 කින් පමණ අඩු වී ඇති බවත්, බස්නාහිර පළාතෙන් පමණක් දිනක් තුළ පිසූ ආහාර මෙට්‍රික් ටොන් 300 ක් පමණ දිනපතා පසුගිය සමයේ එකතු කළ බවත් මේ වනවිට ඉවතලන පිසූ ආහාර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 180 ක් දක්වා පහළ බැස ඇති බවත් ය. එහිදී අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආහාර නාස්තිය අවම කිරීම පිණිස ජනතාව විසින් මෙවැනි ක්‍රම සහ විධි භාවිත කරන්නට යොමු වී ඇති බවක්ය.

රටට බඩගින්න දැඩිව දැනෙමින් පවතින වටපිටාවක බස්නාහිර ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකය විසින් කරන ලද මෙම හෙළිදරව්ව කාලීන වටිනාකමක් සහිතය. අපගේ වැටහීම නම් දිනපතා කුණු බක්කිවල ගොඩ ගැසෙන ‘ඉඳුල්’ ප්‍රමාණය තවත් අඩු විය යුතුය. එම හෙළිදරව්ව ඔස්සේ යමින් කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් පවත්වාගෙන යන පිසූ ආහාර අලෙවි සල් කීපයක් හා නිවාස රාශියක් ඇසුරින් ඒ පිළිබඳ සිදු කළ සොයා බැලීමකදී ව්‍යාපාරිකයන් කීප දෙනෙක් සඳහන් කර සිටියේ ඉවත දැමීම කෙසේ වෙතත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පිසූ ආහාර ව්‍යාපාරයේ නිරත ලොකු කුඩා හෝටල් රැසක් තම ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යෑම පිළිබඳ බරපතළ අර්බුදයකට මුහුණදී සිටින බවත් රට සාමාන්‍ය තත්ත්වයේ පැවති සමයේ කරන ලද වෙළෙඳාම් කටයුතු මේ වනවිට සියයට අසූවකින් පමණ පහළ ගොස් ඇති බවත්ය.

‘බඩගින්න’ දැඩිව දැනෙමින් පවතින අඩු ආදායම්ලාභී නිවාස දසදහස් ගණනින් සමන්විත කොළඹ සහ ඒ අවට පදිංචි ජනතාව තුන්වේල යනු කොතෙක්දුරට දැනෙමින් පවතීද යන්න පිළිබඳ අප විසින් සිදුකරන ලද සොයා බැලීමේදී හෙළිදරව් වූවේ කොළඹ සහ ඒ අවට ජීවත් වන අඩු ආදායම්ලාභී ජනතාව අතරින් කාන්තාවන් හා කුඩා ළමුන් බඩගින්න පිළිබඳ ප්‍රශ්නය හේතුවෙන් දැඩිව පීඩා විඳන බවක්ය. මේ හේතුවෙන් ළමා මන්දපෝෂණය දිනෙන් දින ඉහළ යමින් පවතින බවට මෙරට සෞඛ්‍ය අංශ විසින් තවදුරටත් අනතුරු හඟවමින් ඇත.

නිස්සාර රටක තිත්ත ඇත්ත එලෙස කරළියට පැමිණෙමින් පවතින තත්ත්වයක් තුළ ජාත්‍යන්තර සංවිධාන වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ ලොව දිළින්දන්ගෙන් අඩක් ජීවත් වන රටවල් 54 අතරට ශ්‍රී ලංකාව අයත් බවය.

ඒ අනුව රටේ හෙට දවස පිළිබඳව පමණටත් වැඩියෙන් ‘රතු එළි’ දැල්වෙමින් ඇත. ඒ අනතුරු හැඟවීම් කිසිසේත් හිතකර නැත. ‘රිම් එකෙන්’ යන රටකට උදාවන 2023 වසර මීටත් වඩා බරපතළ තත්ත්වයන්ට මුහුණදීමට සිදුවන වසරක් විය හැකි බව තතු දත් ආරංචි මාර්ග දිගින් දිගටම සඳහන් කර සිටින්නේ එබැවින් විය යුතුය. රට මෙවැනි අගාධයක් වෙත තල්ලු කර දමන ලද්දේ කවුරුන් විසින් ද යන පැනයට තවමත් විසඳුමක් නැත. ඒ සඳහා හරිහමන් පිළිතුරක් ලබාදීමට සමත් කිසිවෙක් ද නැත. කැත හිරිකිත දේශපාලන පොර පිටිය විසිල් මිස බල්ටි නැත. ඔවුන් තවමත් බලය පිළිබඳ අනවරත අරගලයක යෙදී ඇත. ජීවන අරගලයක සිරකරුවන් බවට පත්ව සිටින මෙරට බහුතරයක් ජනතාව ඉන් මුදා ගැනීම පිණිස වන උපායමාර්ග තෝරා ගැනීම වෙනුවට මෙරට ප්‍රධාන ධාරාවේ දේශපාලනය තවදුරටත් පැලැස්තර විසඳුම් ඉදිරිපත් කිරීම තුළින් ජනතාව අන්දවමින් සිටින්නේ අනුකම්පා විරහිත මනසින් යුතුවය. රට පණ අදින හඬට හරියාකාරව සවන් දීමක් ඔවුන්ගේ පාර්ශ්වයෙන් තවමත් නැත.

තම දරුවන්ට මත් පෙති පොවමින් ඔවුන්ව අඩපණ කොට මවුවරුන්, පියවරුන් හිඟමන් යෙදෙන තැනට පත්වන්නේ එබැවින් ය. කඹයෙන් නිදහස් නොකළ කිරි ගවයන්ගේ හිසත් ඇටකටු ගොඩත් ඉතිරි කර මසට කපා ගෙන යන හෙණ ගහන අපරාධ වාර්තා වන්නේ ඉහත පොදු ප්‍රකාශනයේ අතුරු ප්‍රතිඵල ලෙසින්ය. වාර්තා නොවන තවත් අනීතික ක්‍රියාවන් බොහෝය. රෝගීව මිය යමින් පවතින සමාජ දේහයට ‘අලුත් හුස්මක්’ විය හැකි නම් මහත්වරුනි පටු දේශපාලනයෙන් මිදෙන්න. රට බඩගින්නේ මිය යෑමට පෙර ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු කරන්න.

රටක් හිඟමනට ඇද දැමූ පාපයට නිදහසින් පසු මෙරට දේශපාලනය අඩු වැඩි වශයෙන් වගකිව යුතු බැවින් රට තරමක් දුරට හෝ ඉහළට ඔසවා තැබීම කර නොහැරිය යුතු වගකීමක් ලෙස සලකමින් විපත් පත් රට සුවපත් කිරීමේ මහා පුණ්‍ය කර්මය පිණිස දැන්වත් පෙළ ගැසෙන්න.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment