හිමියන්ට වෙඩි තැබූ සැකකරුවන් වාහනයට ගිනි තැබුවේ ඇගිලි සලකුණු යට ගහන්න

253

මල්වතුහිරිපිටිය කහටාන ගණාරාම විහාරස්ථානය තුළදී හිමිනමක වෙඩි තබා ඝාතනය කළ පලා ගිය සැකකරුවන් ගමන් ගත් මෝටර් රථයට ඔවුන් විසින්ම ගිනි තබා විනාශ කර ඇත්තේ ඇඟිලි සලකුණු පොලිසියට හසුවීම වැළැක්වීමට බව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

මෙ අපරාධකරුවන් විහාරස්ථානය තුළදී අහසට වෙඩි තබා කලටුවාවේ ධම්මරතන හිමියන් බියට පත් කිරීමේ අරමුණින් පැමිණෙන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

එහෙත් ධම්මරතන හිමියන් සමග ඇති වූ ආරවුලෙන් පසු මොවුන් එම හිමියන්ට වෙඩි තබන්නට ඇති බව පොලිසිය පවසයි.

ධම්මරතන හිමියන් ඝාතනය කිරීමේ අරමුණෙන් පැමිණියේ නම් කෙලින්ම එම හිමියන්ට වෙඩි තබා ඔවුන්ට පලා යෑමට අවකාශ තිබූ බව ද විමර්ශන කණ්ඩායම් පවසයි.

ඝාතනයට ලක්වූ හිමියන් සහ මෙම සන්නද්ධ කණ්ඩායම අතර දැඩි ආරවුලක් තිබෙන්නට ඇති බවත් එම ආරවුල කුමක් නිසා ඇති වූයේ ද යන්න මෙතෙක් හෙළි වී නොමැති බවත් පොලිසිය පවසයි.

කෙසේ වෙතත් ඉදිරි පැය 48 ඇතුළත මෙම ඝාතනයේ සැකකරුවන් සියල්ල අත්අඩංගුවට ගෙන ඝාතනයේ සුලමුල හෙළි කර ගන්නා බව ද විමර්ශන නිලධාරීහු පවසයි.

ඝාතනයට ලක්වූ ධම්මරතන හිමියන් නිවාස කීපයක හිමිකරුවකු වන අතර එම හිමියන්ගේ බැංකු ගිණුම් කීපයක විශාල මුදලක් ද තැම්පත් කර තිබෙන බව විමර්ශනවලින් හෙළි වී ඇත.

එමෙන්ම ධම්මරතන හිමියන් තම හිතවතකුගේ බැංකු ගිණුම් කීපයක ද මුදල් තැම්පත් කර ඇති බව ද පොලිසිය පවසසයි. මෙම හිමියන් අවස්ථා ගණනාවකදී ඩුබායි සහ ඉන්දියාවේ සංචාරය කර ඇත.

පෙරේදා (23 වැනිදා) දහවල් මල්වතුහිරිපිටිය කහටාන ගණාරාමයට කඩා වැදුණු සිවුදෙනකුගෙන් සමන්විත පිරිසක් ධම්මරතන හිමියන් සමග ආරවුලක් ඇති කරගෙන පසුව එම හිමියන්ට වෙඩි තබා ඝාතනය කර පලා ගොස් තිබිණි.

ඝාතකයන් තමන් ගමන් ගත් මෝටර් රථය කඩුවෙල ප්‍රදේශයේදී ගිනි තබා විනාශ කර තිබියදී පොලිසිය මගින් සොයා ගන්නා ලදී.

ඝාතකයන් පැමිණි මෝටර් රථය ව්‍යාජ අංක යෙදු එකක් වන අතර එම රථය එකලස් කළ එකක් බව ද හෙළි වී තිබේ.

ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment