හිස් පොලිස්

1121

මේ වෙලාවේදී පොලිසිය හිස්ය. පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න විශ්‍රාම ගොස් තිබේ. අද වන විට ඔහු එසේ විශ්‍රාම ගොස් දින හතරක් ගත වී ඇත. වික්‍රමරත්න විශ්‍රාම යන්නේ මාස 3 ක සේවා දිගුවකින් පසුවය. දින 3 ක් තිස්සේ පොලිස්පතිවරයකු නොමැතිවීම මේ රටේ පොලිස් ඉතිහාසයේ මුල්වරට සිදුවූ දෙයක් බව දැන ගැනීමට තිබේ. පොලිස්පතිවරයා වීම සඳහා මේ වන විට තරගයක් පවතී. මුලින්ම ඒ තරගයේ සිටියෝ නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක, දේශබන්දු තෙන්නකෝන් සහ අජිත් රෝහණ යන නියෝජ්‍ය පොලිස්පතිවරු සිවුදෙනා ය. ඒ අතර අජිත් රෝහණට ගේමක් දී ඔහු තරගයෙන් ඉවත් කරන ලදී. මේ අනුව ඉතිරි තිදෙනා අවසන් තරගයට සුදුසුකම් ලබා සිටිති. එයින් එක් අයෙක් තෝරා ගත යුතුය. නැතහොත් වැඩේ අල ගොඩක් බවට පත් වීමට ඉඩ තිබෙන්නේය.

අප පොලිසිය හිස් වී යැයි කියන්නේ ඇයි? පොලිසිය වැනි ආයතනයක ප්‍රධානියා නැති වීමෙන් ඉතා නරක අරාජික තත්ත්වයක් මතු වේ. ශ්‍රී ලංකා පොලිසිය යනු මේ රටේ ජනතාව සමඟ උරින්උර ගැටෙන ලොකුම සිවිල් ආයතනයයි. මේ ආයතනය තුළ අනූදාහකට කිට්ටු කාඩරයක් සිටිති. මේ කාඩරයේ ඉහළින්ම සිටින්නේ පොලිස්පතිය. ඊළඟට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ද, එස්. එස්. පී.ලා ද, එස්. පී.ලා ද, ඒ. එස්. පී.ලාද, චීෆ් ඉනිස්පෙක්ටර්ලා ද, අයිපීලා ද, සාජන්ලා ද, රාළහාමිලාද යනාදී වශයෙන් පොලිස් ධුරාවලිය සකස් වී තිබේ. මේ විශාල දේහයට ඔළුගෙඩියක් නැති වූ විට එය අයාලේ යනවා ඇත. සමහර සිද්ධිවලදී කෙළින්ම පොලිස්පතිට පැමිණිලි කිරීමට ජනතාවට සිදු වේ. ඒත් මේ වන විට පැමිණිලි කරන්නට සිදු වී ඇත්තේ පොලිස්පතිගේ හිස් කාමරයට හෝ හිස් පුටුවට ය. මනුෂ්‍ය වර්ගයා වූ කලී නිතරම එක් නායකයකු යටතේ රංචු ගැසෙති. පොලිසිය පොලිස්පති යටතේත්, ත්‍රිවිධ හමුදාව ත්‍රිවිධ හමුදාපතිවරු යටතේත්, විපක්‍ෂය විපක්‍ෂ නායක යටතේත්, රට ජනාධිපති යටතේත් රංචු ගැසීම සාමාන්‍ය සංසිද්ධිය වේ. මනුෂ්‍යයා සතු මේ ගුණාංගය නිසා රාජාවලිය ඇතිවිය. නායකත්ව මණ්ඩල අසාර්ථක විය. සමාන බලතල ඇති නායකයන් සමූහයකට මිනිස්සු කැමති නොවෙති. ඔවුන් ප්‍රියකරන්නේ තනි නායකයකුට ය.

පොලිසිය යනු අඩුපාඩු බෙහෙවින් බහුල ආයතනයකි. වෙනත් කිසිම ආරක්‍ෂක අංශයකට නැති මිනීමැරුම් සහ අපරාධ චෝදනා පොලිසියට තිබේ. පොලිස් දෙපාර්තමේන්තුවේ මානුෂිකත්වය ද බෙහෙවින් ජරාජීර්ණය. ඒ අනුව පොලිසියේ ඉහළ නිලධාරියා තමාට පහළින් සිටින නිලධාරියාට හැම විටකම සලකන්නේ සතෙකුට මෙනි. මේ ගතිය උඩ සිට පහළට ගලාවිත් පොලිස් රාළහාමි සාමාන්‍ය ජනතාවට ද සතුන්ට මෙන් සලකන්නට පටන් ගනී. එවිට සමාජයේ විනය කැඩේ. විනය බිඳීයෑම නිසා පොලිසිය මහජනතාවගෙන් ද, මහජනතාව පොලිසියෙන් ද ගුටි කයි. හිටපු ගමන් ගම්පිටින් පැමිණ පොලිසිය වටලන අවස්ථා තිබේ. ඒ අතර පොලිස් දෙපාර්තමේන්තුව අපරාධවලටද එකතු වෙයි. ඔවුහු කුඩු බෙදාහරිති. කුඩු ගසති. නිවාඩුවට ගමේ විත් හොරකමේ යති. ඒ අතර ස්ත්‍රී දූෂණ සහ කාම අපරාධ වැනි චර්යා විරෝධී වැඩවල නිරත වෙති. සාමාන්‍යයෙන් ආසියාවේ සහ අප්‍රිකාවේ ආරක්‍ෂක අංශවල පොදු තත්ත්වය මෙය වෙයි. එබැවින් ආරක්‍ෂක අංශවලට ප්‍රධානියකුගේ අවශ්‍යතාව දැඩිව තිබේ. ආයතනයක නායකයකු සිටින විට තමන්ට ඉහළින් තමන් දෙස බලා සිටින යමකු සිටින බව එම ආයතනයේ පහළ ධුරාවලියට වැටහේ. එවිට 100% ක් ම නැතත් 75% ක් හෝ වැරදි නොකර සිටීමට පහළ ධුරාවලිය සූදානම් ය. පොලිස්පති කෙනකු නැති පොලිසියට හැකි ඉක්මනින් ප්‍රධානියකු ලබා දෙන ලෙස අපි ඉල්ලමු. හිස් පොලිසියක ඇති රික්තය භයානක විෂබීජවලට පෝෂ්‍යදායක අවකාශයකි.

advertistmentadvertistment
advertistmentadvertistment