හෙට ඇරැඹෙන කොළඹ පොත් සැණකෙලිය

269

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය, අද වන විට දකුණු ආසියාවේ වඩාත්ම සංවිධිත ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනවලින් එකකි. 1999 කොළඹ ‘ජාතික පොත් ප්‍රදර්ශනය’ වශයෙන් කොළඹ කලා භවනේදී පවත්වන්නට යෙදුණ, මේ ප්‍රදර්ශනය 2000 නව සහශ්‍රකයේ ද එලෙසම පැවැත්විණ. 2001 වර්ෂයේදී ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ ලෙසින් අලුතින් හඳුන්වන්නට යෙදුණි. එවර ඒ ප්‍රදර්ශනය ඇරඹියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේය. අද වන විට, 2023 වර්ෂයේ (මෙවර) ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ විසි හතර වැනි වතාවටය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් 2020 වර්ෂයේ ප්‍රදර්ශනය නොපැවැත්විණි.

‘ජාතික මට්ටමේ පොත් ප්‍රදර්ශනයක් කරමු’ ලෙස එදා ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයට යෝජනා කළේ (සංගමයේ හිටපු සාමාජික) නිශ්ශංක මදුරප්පෙරුම මහතාය.

ඊට පුරෝගාමීව පෙරමුණ ගත්තේ, එච්. ඩී. ප්‍රේමසිරි (සරසවි), ආරියදාස වීරමන් (සමයවර්ධන), රංජිත් සමරනායක හා (දිවංගත) නිමල් ආරියවංශ (එවක ප්‍රකාශක සංගම් සභාපති) යන මහත්වරුය.

“කොළඹ විහාර මහදේවී උද්‍යානයේ පැවැත්වෙන මල් ප්‍රදර්ශන නැරඹීමට එන ඉහළ මධ්‍යම පාන්තිකයන් මේ පොත් ප්‍රදර්ශනය නැරඹීමටත් එතොත් ඇති…!” වගේ අදහසක් ද ශ්‍රී ලංකා පොත් ප්‍රකාශක සංගම් සාමාජිකයන් අපේක්ෂා කළහ. එනමුදු සාමාන්‍ය සිංහල පාඨක ජනයා කොළඹ ජාතික පොත් ප්‍රදර්ශනය නැරඹීමට වැල නොකැඩී පැමිණියහ. එකම වහලක් යට ශ්‍රී ලාංකේය ප්‍රකාශකයන් බහුතරයකගේ ප්‍රකාශන නිදහසේ සැරිසරමින්, දැක බලා ගනිමින්, විශේෂ සහන මිලකට මිලදී ගැනීමටත්; ඉඳහිට ප්‍රකාශකයන්, ලේඛකයන්, සිත්තරුන් මුණගැසීමේ විරල අවස්ථාව ද ප්‍රදර්ශන නිසා ඇතිවිය.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය 1984 දී පිහිටුවන්නට යෙදුණත්, එහි ක්‍රියාකාරී මට්ටමක් ඇති කිරීමට මුල පිරුවේ එවක පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල සභාපති (දිවංගත) සුගුණදාස අතුකෝරාල මහත්මායි. ඒ අදහස පෙරදැරිව, එච්. ඩී. ප්‍රේමසිරි, ආරියදාස වීරමන්, රංජිත් සමරනායක සහ දිවංගත කෘතහස්ත ලේඛක කේ. ජයතිලක යන මහත්වරු ප්‍රමුඛව කටයුතු කළහ. සංගමය තවදුරටත් වර්ධනය විය.

ඉදින් එවකට පනහකට අඩු සාමාජික පිරිසකින් මෙලෙසින් ක්‍රියාකාරී වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය, අද වන විට දෙසීය ඉක්ම වූ වෘත්තීය පොත් ප්‍රකාශකයන් සංඛ්‍යාවකින් වර්ධනය වී ඇත.

මෙහිලා පොත් ප්‍රදර්ශන සංවිධානයේදී එච්. ඩී. ප්‍රේමසිරි හා ආරියදාස වීරමන් විසින් අර්ථපතීන් වශයෙන් දක්වන ලද අනුග්‍රහය අගනේය. 2022/2023 දෙවර්ෂයේදී කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය උදෙසා ප්‍රධාන අනුග්‍රාහක වශයෙන් අර්ථපතීත්වය දරන ලද්දේ සරසවි සමූහ ව්‍යාපාරයේ සභාපති එච්. ඩී. ප්‍රේමසිරි මහතාය.

අද වන විට දිවයිනේ සියලු රාජ්‍ය හා පෞද්ගලික මට්ටමින් පවත්වන සාහිත්‍ය උළෙල අතර ප්‍රමුඛ වන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයයි. අවම වශයෙන් ලක්ෂ හත අටකට ආසන්න ජන සහභාගිත්වයක් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට රැස්කකා එති.

දිවයිනේ සතර දිග් භාගයෙන්ම පැමිණෙන සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂීය පාඨක පිරිස් ඉතා කුඩා ගම් පියසේ සිට සිරිලක ප්‍රධාන නගර, උප නගර ආදී වශයෙන් ද, සමාජයේ සෑම තරාතිරමකම ජනී ජනයා වශයෙන් ද යුක්ත බව අප කළ සමීක්ෂණයකින් පැහැදිලි විය. ඈත දුර බැහැර ගම්වල වියපත් මෑණිවරුන්, දරු මුණුබුරන් සමඟ මෙහි එන්නේ අවුරුද්ද පුරා එක්රැස් කළ රුපියල් දෙතුන් දහසේ – හාර පන්දහසේ නෝට්ටු අතැතිවයි.

මේ අතර විවේචනයන් ද බොහෝය. ‘මොනවද නමක් ඇති නූඩ්ල්ස් කාලා, විනෝද වෙන්නලු එන්නේ…!’ ඉන් ඇතැම්හු කියති…! අඩුම ලංසුවේ කෑම පොදක් කන්නේ “මහා-ජනයා” නොවේ; ඉතා සාමාන්‍ය ජනයාය…!

සාමාන්‍ය ජනතාව “පොත” නිකම්ම පොතක් නොවේ; “පොත් වහන්සේය…!” කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔවුන්ට එකම “පොත් සැණකෙළි පිටියකි…!” ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ඒ පුරෝගාමී සංවිධායක මඩුල්ලටත්, එහි සෑම සියලු සාමාජික භවතුන්ටත් අපේ ප්‍රණාමය…!

● පියසේන වික්‍රමගේ
දෙවන පුරෝගාමී සාමාජික
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය

advertistmentadvertistment
advertistmentadvertistment