හොඳටම කරපු හැටි

2382

කවර විද්‍යාඥයා කවර න්‍යාය ඉදිරිපත් කළත් දැනට පෘථිවිය භ‍්‍රමණය වන්නේ සෞරග‍්‍රහ මණ්ඩලය බිහිවීමේදී ඇතිවුණු භ‍්‍රමණ ශක්තිය නිසා නොව විදුලිය නිසාය. මේ අනුව කිසියම් දවසක විදුලිය නිෂ්පාදනය වීම නැවතුනොත් ලෝකය භ‍්‍රමණය වීම න්‍යායාත්මකව නොව ප‍්‍රායෝගිකව නැවතීමට ඉඩ තිබේ. ඝන අන්ධකාරයේ අරුමය සහ ගෝලීය උෂ්ණත්වයේ දහදිය ගැන මේ රටේ ජනයා මේ මොහොතේදී දැනගන්නේ කරන්ට් කපන නිසාය. පැය 24 ම ලයිට් තිබෙන විට රැයත් දහවල බවට පත්වී ක‍්‍රියාශීලී ලෝකයක් මැවේ. ෆෑන් කැරකෙන විට, AC වැඩ කරන විට ඔෆිස්වල වැඩකරන ජනයාට මහ පාරේ කාණු කපන, පිටකොටුවේ කරත්ත අදින, ගම්වල පොල් ගස් නගින මිනිසුන්ගේ අමාරුව ගැන හිතන්නටවත් වෙලාවක් නැත. අසා දැනගත් හෝ ඇඟට වැදුණු බැවින් දැනගත් දේවල්වලින් අත්දැකීම් උපදී. අත්දැකීමක් නැති තැන ජනතාව හිතන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුව තමන්ට සියල්ල කළ හැකි බවය. ඔය ඉතිං කොලා මදැයි.

ලංකාවට නිතරම තෙල් නැව් සහ ගෑස් නැව් එයි. එහෙත් කිසි විටකත් කොළඹ වරායට ඩොලර් නැව් එන්නේ නැත. අපට සිදුවී ඇත්තේ එම අර්බුදයයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණයක් ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ ගිය විට එම අරමුදල ශ‍්‍රී ලංකාවේ තත්ත්වය ගැන නිර්දේශ සහ අර්ථ නිරූපන පත‍්‍රිකාවක් ඉදිරිපත් කළේය. ඒ කරුණු ඉතාම සංක්ෂිප්තව මෙසේය; පාස්කු බෝම්බයත් සමගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩොලර් ඉපැයීම් මාර්ගය වූ සංචාරක කර්මාන්තය කඩා වැටුණේය. ඉන්පසු අලූත් ආණ්ඩුව බලයට පත්විය. ඒ හාම කොවිඞ් 19 ලොව පුරා පැතිර ගිය අතර පිටරටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයන් වෙතින් රට තුළට ඩොලර් පැමිණීම නැවතිණ. මේ නිසා විශාල ආර්ථික අර්බුදයක් හට ගත්තේය. අද වන විට ශ‍්‍රී ලංකාව ඩොලර් සිඳී ගිය භාණ්ඩාගාරයක් සහිත රටකි. එබැවින් ස්වෛරී බැඳුම්කර (sovereign bonds) ඇපයට තබා පිටරටවලින් ණයට ගත් ඩොලර්වල පොලී සහ වාරික ගෙවීමට බැරි වන තැනට ලංකාව තල්ලූ වී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනය වන්නේ ජූලි මාසයේ දී අප ගෙවිය යුතු විදේශ ණය ගෙවීමට බැරි වන බවකි. මෙය විශාල අල ගොඩකි. මෙසේ වූ විට ස්වෛරී බැඳුම්කරවල මුදල් ආයෝජනය කළ පාර්ශ්වකරුවෝ තම මුදල් අයකර ගැනීම සඳහා නඩු මගට යෑමට ඉඩ ඇත. මීට වඩා භයානක තත්ත්වයක් ඊළඟට තිබේ. ඒ වූකලී ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර පොලූකාරයකුගේ තත්ත්වයට පත්වන බැවින් කන්න නැතුව මේ මැරෙනවයි කීවත් කිසිදු රටක් තඹ සල්ලියක ණයක් අපට නොදීමය. මේ තත්ත්වය සමනය කිරීම සඳහා ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ හෙවත් re schedule කිරීමේ අවස්ථාවක් ඇත. එයට ණය හිමියන් කැමති විය යුතුය. ඒ සඳහා දැන්මම සාකච්ඡා ආරම්භ කළ යුතු අතර ආණ්ඩුව එවැනි තැනකට යන්නේ දැයි අපි නොදනිමු. මහ බැංකුවට හෝ මුදල් ඇමැතිට ආර්ථික පාඩම් කියා දීමේ වුවමනාවක් මේ පුවත්පතට නැත. අප කරන්නේ සාමාන්‍ය ජනයා සතු සාමාන්‍ය දැනීම සාකච්ඡා කිරීමය. ආණ්ඩුව මේ යන

ගමන කිසිසේත්ම හොඳ නැත. එයට හොඳම උදාහරණය බ‍්‍රහස්පතින්දා රාති‍්‍රයේදී ජනාධිපතිගේ නිවසට යන පැඟිරිවත්ත පාරේ හටගත් අවාසනාවන්ත සිද්ධියයි. ලංකාව අද පත්ව ඇති තත්ත්වය ප‍්‍රමුඛ වශයෙන් පාදක වූයේ මීට පෙර පැවැති රාජපක්ෂ ආණ්්ඩු කාලයේ ගත් මෝඩ දේශපාලන තීන්දුය. ඒවායේ ආර්ථික පව් දැන් ඵල දෙමින් පවතී. මේ අතර තවත් වැදගත් යමක් කියමු. ආණ්ඩුවට සපෝට් කරන සමගි ජන බලවේගයේ මන්ත‍්‍රීවරියක වන ඩයනා ගමගේ පසුගියදා නොම්බර එකේ මෝඩ කතාවක් කීවාය. රට බංකොලොත් වී ඇති බව ප‍්‍රසිද්ධියේ නොකිව යුතු බවත් රට බංකොලොත් වී ඇති බව පිටස්තර ලෝකය දැනගැනීම හොඳ නැති බවත් ඇය කීවාය. මේ රට බංකොලොත් වී ඇති බව මුළු ලෝකයම දනී. රට බංකොලොත් වී නැති බවක් කිසිවකු කිව්වොත් පිටස්තර ලෝකය කල්පනා කරනු ඇත්තේ එසේ කරන එකාට පිස්සු බවය. ඩයනා ගමගේ දේශපාලන වශයෙන් කොතරම් නොමේරූ කෙනෙක් ද යන්න මෙහිදී පැහැදිලිය. නූතන දේශපාලන ලෝකයේ භාගෙට භාගයක්ම සිටින්නේ මොළ හතේ කට්ටිය නොව මොළ භාගයේ කට්ටිය ය. දැනට හිත හදා ගැනීමට ඇති එකම කාරණය නම් එවැනි ගොන් කතා නොකියන එකම එක දේශපාලන පක්ෂයක් මේ රටේ තිබීම ය. ඒ වූකලී ජනතා විමුක්ති පෙරමුණයි. එයට පාර්ලිමේන්තුවේ ඇත්තේ ආසන තුනක් පමණි. එහෙත් ආසන තුන්සීයක හඬක් ඔවුනට තිබේ.

ස්වකීය විරෝධය ආණ්ඩුවට පළ කිරීම සඳහා ජනතාව පාරට බසින්නට පටන්ගෙන තිබේ. තැන තැන හටගන්නා උද්ඝෝෂණ ව්‍යාපාර නිසා රටේ දේශපාලනය කෙසේ වෙතත් සමාජයේ අස්ථාවරභාවය පැහැදිලිවම පෙනෙන්නට තිබේ. අපේක්ෂා භංගත්වයට පත් දුප්පතකු ඕනෑම දෙයක් සඳහා පොලඹවා ගැනීමට කපටි දේශපාලනඥයකුට පුළුවන. එවැනි තත්ත්වයකට පත්විය හැකි තරමට දේශපාලනඥයන් බලවත් වන්නේ නම් එහි වරද ස්ථිර වශයෙන්ම ඇත්තේ ආණ්ඩුව අත ය. දවසේ පැය 24 න් පැය 12 ක් හෝ 13 ක් ලයිට් කැපුවොත් සිදුවිය හැකි අනර්ථය මේ තරමට දරුණු යැයි ආණ්ඩුව නොසිතන්නට ඇති. ඊටත් අමතරව මහජන උපයෝගිතා කොමිසමේ ලයිට් කපන බූරු චාර්ට් එක නිසා ජනතාව තුළ බලවත් කෝපයක් ඇති වෙයි. ඔවුන්ගේ චාර්ට් එකේ ලයිට් කපන වෙලාවල් ගැන සඳහන් වන්නේ මෙසේය. A,B,C,D, කලාපයට පැය 4 ක් හා 8 ක් ලයිට් කපනු ලැබේ. E,F,G,H කලාපයට පැය 4 ක් හා 8 ක් ලයිට් කපනු ලැබේ. I,J,K,L කලාපයට පැය 12 ක් ලයිට් කපනු ලැබේ. තවත් අකුරු 4 ක කලාපයකට පැය 4 ඒවා තුනක් ලයිට් කපනු ලැබේ. අවසානයේදී බලන විට හැම කලාපයකටම පැය 12 බැගින් ලයිට් කපා තිබේ. එහෙත් ඉහත සඳහන් අකුරුවලට අදාළ කලාප මොනවාදැයි මොන මළ යකෙක්වත් නොදනී. මහජන උපයෝගිතා කොමිසම ඉංගී‍්‍රසි අකුරුවලින් කියන අදාළ කලාප මොනවාද යන්න වෙන් වෙන් වශයෙන් දැන ගැනීමේ අයිතිය ජනතාවට තිබේ. එම කලාප මොනවාද යන්න පුවත්පත් දැන්වීමක් මගින් එක වතාවක් පමණක් ප‍්‍රකාශ කිරීමෙන් වැඩක් නැත. එය නිතරම ජනමාධ්‍ය මගින් ප‍්‍රචාරය කළ යුතුය. ජේ. ආර්. ගේ කාලයේත් චන්ද්‍රිකාගේ කාලයේත් ලයිට් කපන විට ලයිට් කැපෙන හැම ප‍්‍රදේශයක්ම ඉතා පිළිවෙළට මහජනතාවට කියාදෙන ලදී. අත්දැකීම් අඩු මහජන උපයෝගිතා කොමිසමට මේ මඟුල තේරෙන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment