හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදිත කර්මාන්ත ශාලාව වසා දැමීමෙන් කෝටි ගණනක යන්ත්‍ර සූත්‍ර විනාශ මුඛයේ

471

රැකියා අහිමි සේවක පිරිස 600ක්

දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනය කළ ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මොනරාගල කුමාරවත්ත වතුයායේ ක්‍රේප් රබර් නිෂ්පාදන කර්මාන්ත ශාලාව මේ වන විට වසා දමා ඇති අතර කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතී.

එහි සේවය කළ සේවක සේවිකාවන්ටද රැකියා අවස්ථා අහිමිවී ගොස් ඇත. අක්කර එක්දහස් අටසියයකින් පමණ යුත් මෙම වතුයායේ හෙක්ටයාර් පන්සිය තිස්අටක පමණ රබර් වගාකර තිබෙන අතර හයසියයකට ආසන්න කම්කරුවන් පිරිසක් සේවය කරති. දිනකට අමු රබර් කිරි කිලෝ 3500 – 4000 අතර ප්‍රමාණයක් ලබා ගනිති. මෙම වතුයායෙන් වාර්ෂිකව රු. මිලියන අසූහයක ලාභයක් ලැබෙන අතර ජනවසමට අයත් පාඩු ලබන වතුයායවල් පවත්වා ගෙන යාම සඳහා එම ලාභය වැය කරති. මීට වසර හයකට පමණ ඉහතදී දිවයිනේ හොඳම ක්‍රේප් රබර් නිෂ්පාදනයකර ඇත්තේ මෙම කර්මාන්ත ශාලාවෙනි. කර්මාන්ත ශාලාවෙන් මුදාහරින අප ද්‍රව්‍ය මොනරාගල නගරය මැදින් ගලා යන මරගල ඔයට බැහැර කිරීම නිසා මධ්‍යම පරිසර අධිකාරියේ මොනරාගල කාර්යාලය මඟින් මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවරන ලද අතර එමඟින් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස අධිකරණ නියෝගයක් ලැබී තිබිණි. මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත පරිසරයට හානි නොවන පරිදි අප ද්‍රව්‍ය බහාලන නිසි ක්‍රමවේදයක් සකස්කොට කර්මාන්ත ශාලාවේ වැඩ ආරම්භ කරන ලෙස නියෝගකර තිබිණි. නමුත් මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත පරිසරයට හානි නොවන පරිදි අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් සකස් නොකිරීම නිසා මේ වන විටත් කර්මාන්ත ශාලාව වසා දමා ඇත. එහි තිබෙන කෝටි ගණනක් වටිනා යන්ත්‍ර සූත්‍ර විනාශ වෙමින් පවතී.

මොනරාගල කුමාරවත්ත වතුයායේ වතු අධිකාරී අසංක කුමාර විජේසූරිය මහතා,

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය සකස් කිරීම සඳහා රු. මිලියන හැටක් පමණ වැය වෙනවා. ඒතරම් විශාල මුදලක් වැය කිරීමට ජන වසමට නොහැකියි. තවදුරටත් මධ්‍යම පරිසර අධිකාරිය සමග සාකච්ඡා කොට අප ද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය අඩු වියදමකින් සකස් කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලනවා.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment