ගල් අඟුරු මිලදී ගැනීමේදී විගණකාධිපතිගේ නිර්දේශ එලෙසම ක්‍රියාත්මක කිරීමට කෝප් කමිටුවෙන් නියෝග

98

නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 – 2025 අතර කාල පරිච්ඡේදයට අදාළව ගල් අඟුරු මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත්කොට ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්ම කිරීමට කෝප් කමිටුව නියෝග කළේය.

මෙහිදී ගල් අඟුරු මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳවන අවස්ථාවේ පැවති සුවිශේෂි තත්ත්වයන් පිළිබඳව කෝප් කමිටුව සාකච්ඡා කළ අතර පැමිණ සිටි නිලධාරීන් ඉදිරිපත් කළ අදහස් පිළිබඳව ද අවධානය යොමු කළේය. මෙම පසුබිම යටතේ විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් පෙන්වා දී තිබුණු ප්‍රසම්පාදන ක්‍රියාවට අනුගතවීමේ දී සිදුව තිබූ දුර්වලතාවන් පිළිබඳව ද දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ අතර මෙම සාකච්ඡා කළ කරුණු පිළිබඳ පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට ද කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරු අතර එකඟතාව පළ විය.

එසේම විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නීත්‍යානුකූල ගිවිසුම් ගතවීම සම්බන්ධයෙන් ඉදිරිපත්කරන ලද කරුණු ද සැලකිල්ලට ගෙන විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඉදිරිපත්කොට ඇති නිර්දේශ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා කෝප් කමිටුව විසින් නියෝග කිරීම සිදු කරන ලදී.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව මෙම නියෝග කිරීම සිදු කළේ නොරොච්චෝලේ ලක් විජය ගල් අඟුරු බලාගාරය සඳහා 2022 -2025 අතර කාල පරිච්ඡේදයට අදාළව ගල් අඟුරු මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධයෙන් වූ 2022 සැප්තැම්බර් 30 දින ඉදිරිපත් කරන ලද විශේෂ විගණන වාර්තාව පිළිබඳ පරීක්ෂා කර බැලීමට එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතිත්වයෙන් පෙරේදා (09 දා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මේ සඳහා විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, ප්‍රසම්පාදන කමිටුවේ සභාපතිවරයා, ශ්‍රී ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා සහ තාක්ෂණික ඇගයීම් කමිටුවේ සභාපතිවරයා කැඳවා තිබිණි. මේ අනුව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීම සඳහා නිර්දේශ 8 ක් ද ඉදිරිපත්කොට තිබිණි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment