පාර්ලිමේන්තුව සහ  ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට  කැප වූ පොලිසියට හමුදාවට ප්‍රණාමය පුද කරනවා – ජනපති රනිල් වික්‍රමසිංහ

84

ප්‍රචණ්ඩකාරී පිරිසක් විසින් පාර්ලිමේන්තුව අල්ලා ගැනීමට ගත් උත්සාහය සාර්ථක වූවා නම් අද රටේ ප්‍රජාතන්ත්‍රවාදය නෑ. කවුද රට පාලනය කරන්නේ කියලා අපි දන්නේ නැහැ. එවැනි බැරෑරුම් තත්ත්වයකට පත්වීමට තිබූ අවස්ථාවත් පාර්ලිමේන්තුවත් ආරක්ෂා වුණේ යුද හමුදාව සහ පොලිසිය නිසා” යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

 ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 156 වන පොලිස් දිනය නිමිත්තෙන් ඉකුත් 03 වැනිදා පස්වරුවේ බම්බලපිටිය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පැවති උත්සවය අමතමිනි. එහිදී ජනාධිපතිවරයා මෙසේද කීවේය.

 සමහරු කියනවා මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියලා. සමහරු කියනවා ඒ අය මර්දනය කළා කියලා. එදා රටේ නීතියක් තිබුණද? සාමයක් තිබුණද ? ගෙවල්වලට පැනලා බඩු අරගෙන යනවද? විශාල බයක් රටේ තිබුණා. දැන් මේකට සුදු හුණු ගාන්න වැඩක් නැහැ. පොලිසියේ පරීක්ෂණවලින් ඒ කරුණු දැන ගත හැකියි. ඊට පසුව පාර්ලිමේන්තුවටත් මේ ගැන සොයා බලන්න සිදු වේවි.

 එදා පාර්ලිමේන්තුව සහ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කැපවූ පොලිස් නිලධාරීන්ට අපි විශේෂයෙන් අපේ ප්‍රණාමය පළ කළ යුතුයි. අද සංකේතාත්මකව සහතික ලබා දුන්නේ ඔවුන්ටයි. අපි සියලු දෙනා එකට එකතු වෙමු. මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමු. මම හිතන්නේ නැහැ මෙතැන ඉන්න මාධ්‍යවේදීන්ගෙන් කවුරුන් හෝ කැමති වෙයි කියා, තමන්ගේ මාධ්‍ය ආයතනයට පැමිණ තමන්ට තර්ජනය කර, ඒ අයට ඕන දේ දාන්න කියනවට. එයත් එදා සිදු වුණා.

 මේ නිලධාරීන් කළ කැපකිරීම නිසා අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වුණා. අපි මතක තබාගත යුතුයි දේශපාලනඥයින් ලෙස අපෙනුත් වැරදි සිදු වී තිබෙනවා. සියලු දෙනා එකතු වී අලුත් ගමනක් එළැඹෙන නිදහස් දිනයේ ආරම්භ කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment