“ළමා වැඩසටහන්වලට මොකද වුණේ?”

202

නිකමට මෙන් මීට දශක දෙකකට පමණ පෙර ව්‍යාප්ත වී තිබූ මාධ්‍ය අවකාශය වෙත ගමන් කරමු. රටේ වැඩිහිටි පරම්පරාව මෙන්ම රාජ්‍ය මට්ටමේ විසිරී පැවැතුණු මාධ්‍ය විශේෂඥයන්, පාලකයන් මෙන්ම සමාජයේ විධිමත් යැයි සැලකෙන සියල්ලම පාහේ මාධ්‍ය සඵලදායි බව පෙන්වූයේ මාධ්‍ය තුළ සුවිශේෂී තැනක් ගත් ළමා වැඩසටහන් සහ ළමා ගීත නිසාමය. ඒ තරමටම ලාංකීය ළමා විඥානය පෝෂණය කිරීමෙහිලා සාම්ප්‍රදායික මාධ්‍ය ඇරුණුකොට ජනමාධ්‍ය විසිවන සියවසේ ආරම්භයේ පටන්ම අධ්‍යාපනික අරමුණු සඳහා ජනමාධ්‍ය අවකාශය මහත් ඵලදායි විය. නියාමන සන්නිවේදන ප්‍රතිපත්ති නිර්මාණය වීම සඳහා මැදිහත් වූ බි්‍රතාන්‍ය රාජකීය ආසියාතික සංගමය 1924 දීත්, 1960 දශකයේ දී යුනෙස්කෝ සංවිධානයත් මෙකී සංහතික මාධ්‍ය අනෙකුත් සෑම අරමුණකටම වඩා අධ්‍යාපනික ඉලක්කයන් සඳහා යොදා ගැනීමේ යෝග්‍යතාවය ප්‍රශ්න කෙරිණි. එය සැබෑම උපායමාර්ගික අත්වැලක් ලෙස දකින්නට ඇත්තේම අන් කවරෙකුත් නිසා නොව කවර ස්වරූපයේ මාධ්‍ය ක්‍රමයක් ලොව අත්හදා බැලුවත් ලෝක සමාජයේ ප්‍රශස්තම ආයෝජනය (Most Excellent Investment) අධ්‍යාපනය සඳහා විය යුතු නිසයි.

ගුවන් විදුලිය ද මහජන තොරතුරු සංසරණයට විවෘත කළ මුල් අවධියේ සිටම ළමා වැඩසටහන් ගෝලීය නාලිකා තුළ දක්නට හැකි විය. ලාංකීය රජයේ ගුවන් විදුලියද ළමා වැඩසටහන් සඳහා ප්‍රමුඛ තැනක් දෙනු ලැබුවේම ළමයින් සඳහාම මාධ්‍ය අවකාශයෙන් විවෘත පරිබාහිර ඉසව්වක් දැමීම සඳහාය. වර්ෂ 1979 දී ලංකාවට රූපවාහිනිය ගෙන්වීම සඳහා ජපන් රජය හා සාකච්ඡා කළ සාකච්ඡාවල දී ද සිරිමාවෝ මැතිණිය අවධානය යොමු කර ඇත්තේ ද මෙහි තුළ ඇති අධ්‍යාපනික ශක්‍යතාවයන් (Educational Abilities) පිළිබඳවයි. මේ නිසා මුල් කාලයේ දී එනම් 80,90,2000 දශකයේ ළමා වැඩසටහන් ලෙස එකී අවශ්‍යතාවය පෝෂණය කළ මුතුහර වැනි වැඩසටහන් රූපවාහිනියේ ප්‍රශස්තම වැඩසටහන් විය. නමුත් 2000 දශකයෙන් මෙපිටට ළමයින් සඳහාම වූ අවකාශය සහ ගුවන් කාලයේ අඩු වීම දිගින් දිගටම සිදුවිය. මේ සඳහා බලපාන ලද ප්‍රධානම සාධකය වූයේ අසූව දශකයෙන් මෙපිටට වර්ධනය වූ නිර්නියාමනික තත්ත්වයයි. මාධ්‍ය සඳහා රාජ්‍ය මට්ටමින් ලබාදී තිබූ සහ ග්‍රාහකයා සඳහා නියම කර තිබූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමත් සමඟ විශේෂයෙන්ම පෞද්ගලික ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ගෝලීය ආකෘතිවලට හැඩ ගැහෙමින් ගෝලීය බහුජාතික සමාගම්හි ප්‍රචාරක මෙවලම් ලෙස නියාමනය නොවූ වල්බූරු නිදහසක් මත ක්‍රියාත්මක වීමට පටන් ගැනිණි.

මේත් සමගම මාධ්‍ය අවකාශය වැඩි බහුතර ගුවන් කාලයක් වෙළෙඳ දැන්වීම් ප්‍රධාන ඉඩක් ගත් අතර එක් ආකෘතික වැඩසටහනක් මධ්‍යයේ වුවද දැන්වීම්කරණය (Advertising) සඳහා යොමුවන ඉඩ වැඩි විය. එයට ප්‍රධානම හේතු සාධකය වනාහි ඕනෑම මාධ්‍ය සමාගමක් වැඩියෙන්ම ලාභ ලබනුයේ දැන්වීම් නිසා වීමයි. අප සමකාලීන මාධ්‍ය ප්‍රවණතාවක් ලෙස නිර්පරිමාණීකරණය (Demassification) නැතිනම් ග්‍රාහකයා අරබයා අල්පපරාස විකාශනය (Narrow casting) නැතිනම් ග්‍රාහක ලැදියා මත විකාශන නාලිකා දිශාභිමුක කිරීම මේ දශකයේ ප්‍රධාන ඉසව්වක් ලෙස සාකච්ඡා කළ ද ජාත්‍යන්තරයේ නාලිකා දරුවන් වෙනුවෙන්ම සෑදූ නාලිකා ඇරෙන්නට දේශීය මාධ්‍ය නාලිකා නම් දරුවන් හට නිර්මාණය කළ අලුත් ආකෘතියක් නොමැත. තිබූ අවකාශ සහ ළමා වැඩසටහනුත් කපා දැමුවා පමණි. පසුගිය වසරේ ගෝලීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කළ සමීක්ෂණයකට අනුව පසුගිය දශකය තුළ පමණක් සියලු මාධ්‍ය නාලිකා ආවරණය වන පරිදි ළමා වැඩසටහන් වලින් 40% කපා දමා ඇත. ඒවා පමණක් නොව වර්ෂ 2005-2010 සමයේ වැඩසටහන් තුළම අන්තර්ගත වූ ළමා ගීත ළමා ආකල්ප සුපෝෂණය කිරීමෙහිලා අභාවයට ගොස් ඇත.

පසුගිය වසර පහට ළමා ගායකයකු හෝ ළමා ගීත කිසිසේත්ම බිහිවී නොමැත. බිහිවුණු පොඩි උනුත් ජනප්‍රිය සංස්කෘතික න්‍යායපත්‍රවල ගොදුරු පමණි.

ලාංකීය සන්දර්භය තුළ හර්ෂණ දිසානායක ඓතිහාසික වන්නේ එක් තීරණාත්මක පරිච්ඡේදයක් තුළ ජනාධිපති සම්මානලාභී ගායක දරුවකු ලෙස රටේ සුවහසක් දරුවන් පෝෂණය කරන්නට කළ මැදිහත්වීම නිසාය. එක් අතකින් 80 දශකයට පෙර තුළ තිබූ මාධ්‍ය මහාපරිමාණී කරණය (Broadcasting) තුළ ළමා වැඩසටහන් සුරක්ෂා වී තිබුණි. දැන් මෙම ආකෘතිය ද වාණිජකරණය තුළ යල් පැන ගිය යමක් සේ සැලකෙන්නේ එවැන්නකින් ලාභ නැති නිසාය.

නමුත් සමාජානුයෝජනය ලබන දරුවාගේ අනාගත දිවියේ ආකල්ප සහ ප්‍රතිචාර හැසිරීම් සංකලනය විහිදුවාලීමට ප්‍රබල කාර්යභාරයක් ළමා වැඩසටහන් සහ ළමා ගීත ඉටුකරනු ලබයි. දැන් ඒ වෙනුවට ජනමාධ්‍යවේදීන් පවා “දරුවොත් එක්ක බලන්න” යන මතවාදය ජනගත කරයි. සැබැවින්ම මෙහි අදහස කුමක්ද? මේ ඔක්කොමත් එක්ක බලන්න කියන්නේ මොනවාද? මේ අන් කවරෙකුත් නොව වර්තමානයේ එක මේසයක සිට බලන්නට වී ඇත්තේ ගෝලීය මාධ්‍ය ආකෘති සහ බහු ජාතික මාධ්‍ය කොම්පැනිවල අඟර දඟරය. දේශීය අනන්‍යතාව සුවිශාල ලෙස වළපල්ලට යවාගත් මොහොතක විදේශීය ආකෘති වූ ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය, ප්‍රචණ්ඩ චිත්‍රපටි, වැඩිහිටි කාටුන්, ලිංගික ප්‍රචාරණ ආදී නොයෙකුත් ගෝලීය ආකෘති සියල්ලටම එකට සිට නැරඹීමට අවස්ථාව දී ඇත. එහි හරයාත්මක දෑ සොයා ගැනීම වැඩිහිටි මනසට ඉතා සරල වන්නට පුළුවන.

නමුත් දරුවාට අකැප දේ කම්පනයක්, විෂම හැසිරීමක් නිර්මාණය කරන පදනමක් බඳුය. නූතනයේ ගැටවරයන් මහත් අපරාධ සහ ප්‍රචණ්ඩ මූලයන්ට යොමු වීමට එය හේතු වී ඇති බව මනෝ විශේෂඥ පවා සාක්ෂි දරයි. මේ සම්බන්ධව කාලීනව කෙරී ඇති පර්යේෂණ ද ඕනෑ තරම් ඇත. සරලවම දරුවාට ඔබින අන්තර්ගතයන්වලින් ඔබ්බට ගොස් පැකිලීමට පත්වන මෙම හුදු සියල්ලම නරඹා සැබෑ ලෙසම වත්මන් ළමා මනස විෂම හැසිරීම් වලින් යුක්ත වියපත්කරණයකට (Maturization Of Child Brain) පත්ව ඇත. මෙය සැබැවින්ම ඛේදවාචකයෙකි. ඒ නිසාම සැබෑ ළමා වටිනාකම් සුරක්ෂා කිරීමට නම් ළමා වැඩසටහන් සහ ළමා ගීතය වෙත සමකාලීන මාධ්‍ය අවකාශය පැහැදිලි ඉඩක් වෙන් කළ යුතුය. එය යල්පැනගිය ආකාරයෙන්ම වන වැඩසටහන් හෝ ගීත විය යුතු නැත. එය නිර්මාණශීලී අලුත් රහකට නමුත් යුගයේ දරුවන් ආකල්පීය අතින් (Altitudonal) ඔසවා තබන නිර්මාණශීලී සහ නියාමනශීලී ආකෘතියක් විය යුතුය. එනයින් වියැකී ගිය එය විධිමත් ලෙස ප්‍රතිෂ්ඨාපනය කිරීම නූතන රාජ්‍ය සහ මාධ්‍ය විශාරදයන්ගේ පැහැදිලි වගකීමක් බව නොඅනුමානය.

  • සහන් ඇලෙක්සැන්ඩර්
    කොළඹ විශ්වවිද්‍යාලය
    සංස්කරණය – වසන්ත ලියනගේ
advertistmentadvertistment
advertistmentadvertistment