10 දෙනකුගෙන් එක් අයකුට වකුගඩු රෝගය – විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල

71

මාර්තු 14 වෙනි දිනට යෙදී තිබූ ලෝක වකුගඩු දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් ළමුන්, රාජ්‍ය සේවකයන් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු නිවාරණ ඒකකය සංවිධානය කර තිබේ.

මේ යටතේ නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ ජ්‍යෙෂ්ඨ අංශයේ සිසු සිසුවියන් සහ ගුරුවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වකුගඩු බද්ධ කිරීමේ උපදේශක හලාවත මහ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ඉදිරි දින කීපය තුළද පුත්තලම, ආනමඩුව සහ මාරවිල ඇතුළු ප්‍රදේශවල පාසල් ළමුන්, රාජ්‍ය සේවකයින් සහ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වර්තමානයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය කරන මුදලින් වකුගඩු රෝගීන් සඳහා ඉන් විශාල මුදලක් වෙන් කිරීමට සිදුවී ඇති පසුබිමක රටේ සමස්ත ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව මෙහිදී පෙන්වා දුන් විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා අධික ලුණු සහිත ආහාර ගැනීම, අහිතකර රසකාරක ආහාර රටාව, ජලය අඩුවෙන් පාවිච්චි කිරීම යන කරුණු වකුගඩු රෝග වැළඳීමේ බලපාන කරුණු අතුරින් ප්‍රධාන වන බව අවධාරණය කළේය. වකුගඩු රෝගය වැළඳීම පෙර නොතිබූ දැඩි අවදානමක් වර්තමානයේ පවතිනවා. දස දෙනෙකුගෙන් එක් අයෙකු වකුගඩු රෝගයෙන් පෙලීමේ අවදානමක් පවතිනවා. හැබැයි මෙය ඉදිරියේදී අට දෙනෙකුගෙන් එක් අයෙක් විය හැකි බවටයි අපේ පිළිගැනීම. එහෙමනම් ඉදිරියේදී මේ රටේ ඉතුරු වෙන්නේ ලෙඩ්ඩු විතරයි.

මෙය ව්‍යසනයක්. රට විශාල මහනුවරක් බවට පත්වෙයි. නිරෝගී සමාජයක් අපි හදාගන්න ඕන. එහෙම නැත්නම් අපිට බෙහෙත් වලට විතරක් විශාල වියදමක් වැය කරන්න වෙනවා. අද වකුගඩු රෝගීන් සඳහා පමණක් මේ රටේ ආර්ථිකයෙන් සියයට නමයක් යොදන්න සිදුවෙලා තියෙනවා. වකුගඩුවක් බද්ධ කිරීමට එක් රෝගියකුට රුපියල් ලක්ෂ හතළිහක් රජයෙන් වියදම් කරනවා, යැයි වැඩි දුරටත් මෙහිදී විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේය. පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ මෙම වැඩසටහන ඉදිරියේදී සමස්ත දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට සැලසුම් කර ඇති බවද හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු නිවාරණ ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය උදාන රත්නපාල මහතා පැවසීය. හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ වකුගඩු නිවාරණ ඒකකයේ වෛද්‍ය ඩබ්ලිව්.එස්. දිල්ෂානි, වෛද්‍ය ඩබ්ලිව්.කේ.බී.එම්. සේනාරත්න, වෛද්‍ය ඩබ්ලිව්.ඩී.සී. ජේ. වීරසිංහ, වෛද්‍ය ඩී.යු.ඒ. ප්‍රේමරත්න සහ වෛද්‍ය එච්.එම්.එන්. තිසේරා යන වෛද්‍ය නිලධාරීන් හා වකුගඩු ඒකකය භාර හෙද නිලධාරි ඒ.එන්.එස්. පෙරේරා මහතා ඇතුළු හෙද නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ධම්මිස්සර ජාතික පාසලේ විදුහල්පති රුවන් කුමාර මහතාගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

අමරනන්ද විජේසේකර – මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment