2021 උ/පෙළට සාධාරණයක් කරන්න

639

කොරෝනා වසංගතය හමුවේ අප රටෙහි අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට එල්ල වූ බලපෑම සුළුපටු නොවේ. මේ නිසා පුරා අවුරුදු දෙකකට ආසන්න කාලයක් දරුවන්ට පාසල් යෑමට නොහැකි විය. ඊට විසඳුමක් ලෙස මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමය හඳුන්වා දුන්නද එය සියයට සියයක් සාර්ථක නොවීය. ටැබ් හෝ ස්මාර්ට් දුරකථන පහසුකම් සපයාගත නොහැකිවීම නිසා බොහෝ සිසුන්ට අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ විය නොහැකි විය. සමහර අවස්ථාවල එම පහසුකම් ඇතත් දුරකථන සංඥා පහසුකම් නොමැති වීම නිසා දුරකථන සංඥා සොයා සමහර සිසුන්ට කඳුදිගේ බඩගාන්නට සිදුවිය. නැතහොත් ජීවිත අවදානමක් දරාගෙන දුරකථන සංඥා සොයා උස් කුලූනු හෝ වෙනත් උස් ස්ථාන සොයා යෑමට සිසුන්ට සිදුවිය. මෙම සමස්ත ක‍්‍රියාවලිය දෙස බැලීමේදී පෙනී ගියේ මාර්ගගත අධ්‍යාපන ක‍්‍රමවේදය තුළින් සෑම සිසුවකුටම අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථා අහිමි වූ බවයි.

කවරක් නමුත් මේ මොහොත වන විට අපේ රටේ දරුවන්ට පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමට වරම් ලැබී ඇත. කොරෝනා තත්ත්වය මුළුමනින් ම පහව නොගිය ද සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් දරුවන්ට පාසල් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව හිමි වී ඇත. එය සැනසුම් සුසුමක් හෙළිය හැකි තත්ත්වයකි.

පාසල් කටයුතු ආරම්භ වීමත් සමඟ 2021 අ.පො.ස. උසස් පෙළ සිසුන්ගේ විභාගය පෙබරවාරි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත. එහෙත් 2021 උසස් පෙළ සිසුන් පවසන්නේ පෙබරවාරි මාසයේදී උසස් පෙළ විභාගය පැවැත්වුවහොත් ඉන් තමන්ට බලවත් අසාධාරණයක් වන බවයි. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරමින් එම සිසුන් පෙන්වා දෙනු ලබන්නේ තමන්ගේ සියලූ විෂය කොටස් සහ ප‍්‍රායෝගික පරීක්‍ෂණ අවසන් වන තෙක් අදාළ විභාගය නොපවත්වන ලෙසයි. ඔවුන් යෝජනා කරනුයේ අපේ‍්‍රල් මාසයේ විභාගය පවත්වන ලෙසයි. බැලූ බැල්මට ඔවුන්ගේ ඉල්ලීම අතිශය සාධාරණය.

අ.පො.ස. උසස් පෙළ සිසුන්ට සිදුවූ ගැටලූව සොයා බැලීමට ජාතික අධ්‍යාපන ආයතනය කළ අධ්‍යයනයකදී හෙළි වී ඇත්තේ 2020 බස්නාහිර පළාතේ පමණක් 55% කට හා ඉන් එපිට පළාත්වල 45% කට පාඩුවක් සිදුව ඇති බවයි. 2021 වසර තුළදී බස්නාහිර පළාතේ 90% කට හා ඉන් එපිට පළාත්වල 70% කට මෙම අධ්‍යාපන පාඩුව සිදුව ඇති බව එම ආයතනය සිදුකළ අධ්‍යයනයකදී හෙළිවී ඇත. මෙම අධ්‍යාපන පාඩුව ආවරණය කර ගැනීම සඳහා ජාතික අධ්‍යාපන ආයතනය නිර්දේශ කර තිබුණේ නොවැම්බර් මාසයේ සිට මාර්තු මාසය දක්වා කාලය තුළ අත්‍යවශ්‍ය විෂය කොටස් ආවරණය කළ යුතු බවයි. නමුත් අධ්‍යාපන ලේකම්වරයා ගුරුවරුන්ට අවධාරණය කර ඇත්තේ අත්‍යවශ්‍ය විෂය කොටස් පමණක් නොව සියලූ විෂය කොටස් ආවරණය කළ යුතු බවයි. තත්ත්වය එසේ තිබියදී 2021 උසස් පෙළ විභාගය පෙබරවාරියේ පැවැත්වීමට අධ්‍යාපන අමැතිවරයාට කවුරුන් හෝ උපදෙස් ලබා දී ඇතැයි එම සිසුන් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන් ය. ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන ලේකම්වරයාගේ නිර්දේශ නොතකා පෙබරවාරියේ උසස් පෙළ විභාගය පැවැත්වුවහොත් එය අතිශයින් ම 2021 උසස් පෙළ සිසුන්ට කරන අසාධාරණයකි. කොරෝනාව නිසා පාසල් අහිමි වී යම් පීඩනයකට ලක්වී සිටින මෙම සිසුන් තවදුරටත් පීඩනයට ලක්නොකිරීමට වගබලා ගැනීම අධ්‍යාපන බලධරයන්ගේ වගකීමකි.

2021 අ.පො.ස. උසස් පෙළ සිසුන් පෙන්වාදෙනු ලබන්නේ පන්තියක සිසුන් කොටස් දෙකකට කඩා සතියක් හැර සතියක් පාසල් ගෙන්වීම තුළින් පසුගිය නොවැම්බර් 15 වැනිදා සිට පෙබරවාරි 07 දක්වා කාලය ඇතුළත තමන්ට අධ්‍යාපනය ලැබීමට තිබූ කාලය දින 30 ක් පමණක් වන බවයි. කොරෝනාව නිසා සිදුවූ අධ්‍යාපන පාඩුව එම දින 30 ක් ඇතුළත ආවරණය කර ගන්නේ කෙසේ දැයි ඔවුහු ප‍්‍රශ්න කරති. භෞතික විiා ප‍්‍රශ්න පත‍්‍රයේ තුනෙන් එකක් සම්පූර්ණයෙන් ගොඩනැෙඟන්නේ විෂය නිර්දේශයේ අඩංගු ප‍්‍රායෝගික පරීක්‍ෂණ 42 ක් ඇසුරින් බව පෙන්වා දෙන ඔවුහු පෙබරවාරියේ 2021 උසස් පෙළ විභාගය පැවැත්වුවහොත් අදාළ ප‍්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීම සඳහාවත් එම කාලය ප‍්‍රමාණවත් දැයි ප‍්‍රශ්න කරති. එය සාධාරණ තර්කයකි.

මෙම සියලූ තත්ත්වයන් සලකා බලා 2021 උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ඉල්ලීමට කන්දීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමකි. විශේෂයෙන් අ.පො.ස උසස් පෙළ වැනි තරගකාරී කඩඉම් විභාගයකදී තරුණ පාසල් දරුවන්ගේ අපේක්‍ෂා සුන් නොකිරීමට අපි කවුරුත් වගබලා ගත යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment