75 වැනි ජාතික නිදහස් උළෙලට විදෙස් නියෝජිතයෝ 300 ක් – ත්‍රිවිධ හමුදාවේ 4846 දෙනෙක්

98

මෙවර 75 වැනි නිදහස් උළෙල (04 දා) සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයීය ලේකම්වරිය, විදේශ ඇමැතිවරුන් 10 දෙනකු, තානාපතිවරුන් ඇතුළු විදෙස් නියෝජිතයන් 300 දෙනකු පමණ සහභාගි වීමට නියමිත බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

උළෙල සඳහා සහභාගි වන මහජනතාව සහ ආරාධිතයන්ට එදින පෙරවරු 7.30 ට පෙර පැමිණෙන ලෙස එම අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා ඉල්ලා සිටී.

සැමරුම සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබෙන බවත්, ඊට අදාළ පුහුණුවීම් සාර්ථකව සිදුකරන බවත් ඒ මහතා දිවයිනට ඊයේ (01 දා) පැවැසීය.

උළෙල සඳහා විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මහත්මිය පෙරවරු 08.07 ටද, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහ එම මහත්මිය පෙරවරු 08.08 ටද, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ එම මහත්මිය පෙරවරු 08.09 ටද, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සහ මෛත්‍රිපාල සිරිසේන මහතා පෙරවරු 08.08 ටද අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා සහ එම මහත්මිය පෙරවරු 08.13 ටද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම මහත්මිය පෙරවරු 08.15 ටද පැමිණීමට නියමිතය.

ජනාධිපති උත්තමාචාර පෙරවරු 08.37 ටද, පැරෂුට් සංදර්ශනය පෙරවරු 09.28 ටද සිදුකර උත්සවයේ වැඩකටයුතු පෙරවරු 9.40 ට නිමාවට පත්වීමට නියමිතය. ජනාධිපතිවරයා සහ සම්භාවනීය ආරාධිතයන් නික්මයෑමෙන් පසු උළෙලේ සමස්ත වැඩසටහන පෙරවරු 10.45 ට නිමාවීමට නියමිතය. දහවල් 12.00 ට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාලුමුවදොර පිටියේදී ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 75 ක් පිරිනැමීම සිදුකෙරේ.

උළෙල සඳහා යුද හමුදාවේ 3284 දෙනකු සමඟ සන්නද්ධ රථ 179 ක්ද, නාවික හමුදාවේ 867 දෙනකු සමඟ සන්නද්ධ රථ 52 ක්ද, ගුවන් හමුදාවේ 695 දෙනකු සමඟ සන්නද්ධ රථ 109 ක්ද (ගුවන්යානා සමඟ) ශ්‍රී ලංකා පොලිසියේ 336 දෙනකු ද පොලිස් විශේෂ කාර්ය බළකායේ 220 දෙනකු ද, සිවිල් ආරක්‍ෂක බළකායේ 437 දෙනකු ද, ජාතික ශිෂ්‍ය භට බළකායේ 546 දෙනකු ද, විශ්‍රාමික නිලධාරීන් 21 දෙනකු ද, ආබාධිත නිලධාරීන් 29 දෙනකු ද සමඟ සමස්ත සංඛ්‍යාව 6385 ක් සහභාගි වීමට නියමිතය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment