මේ වෙලාවේ නිහඬව ඉන්න බෑ…

797

කලකට පසු නන්දා මාලනිය සිනමා කලා වෙත කතා කරයි

වහින්නට හැකි නම් ගිගුම් දී
වියළි ගම් බිම් වලට ඉහළින්
ඉදෙන්නට හැකි නම් බතක් වී
බතක් නොඉදෙන පැලක රහසින්

අවුරුදු හතළිහකට ආසන්න කාලයක් තිස්සේ ඈ ගී ගැයුවේ රටේ සිටින පීඩිත ජනතාව උදෙසාය. එනිසාම ඇය ජනතාවාදී ගායිකාවක් වන්නීය. කලින් කලට අපේ රටේ පාලකයන් ඇතුළු දේශපාලන නඩය රටට වින කටින අවස්ථාවන්වලදී ඇය නිහඬව සිටියේ නැත. කළේ ගීතය ඔස්සේ ඒ බැව් ජනතාව දැනුවත් කිරීමය. පාස්කු – ප්‍රහාරයේ ඛේදජනක ඉරණම ගැනද ඇය ගීයක් ගායනා කළ බව අපි දනිමු. එදා සේම අදත් එය එසේමය.

බහුබූතයො කරළියට ඇවිත් – ඔහේ
කලින් කලට බඩ පිනුම් ගසත්
කටින් කෙබර ඇද හැලෙන කොටත් තව
ඔල්වරසන් දෙනවානෙ අපිත් //

ආචාර්ය නන්දා මාලිනිය ගයන අලුත්ම ගීය. බහුබූතයෝ කරළියට ඇවිත්. අද අප අත්දකින සැබෑ තත්ත්වය ගැන උපහාසයෙන් යුක්තව ගැයෙන මේ ගීයේ පද රචනය ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නගේය. තනුව සහ සංගීත නිර්මාණය ආචාර්ය රෝහණ වීරසිංහය.

පාට පාට සාටක පළඳන්
රට හතර වටේ ගොස් වැඳ වැටෙමින්
රාජ සභාවට පාර කපං
අර දිවිය රතෙන් යන හැටි බලපං

කලකට පසුව මෙවැනි ගීයක් ගයන්න තීරණය කළේ මන්දැයි අප නන්දා මාලිනියගෙන් විමසද්දී ඇයගේ පිළිතුර වුණේ මෙවැන්නක්.

මේ ගීය මීට මාස තුන හතරකට කලින් පටිගත කරලා තිබුණේ. දැන් එන්න එන්නම රටේ තත්ත්වය හොඳ නැහැ. හැම පැත්තෙන්ම ප්‍රශ්න ගොඩයි. එනිසා මේක තමයි හොඳම වෙලාව මේ ගීතය එළිදක්වන්න.

පවන ප්‍රසංගය ඇය කළේ එවක රටේ පැවැති ක්‍රමයට එරෙහිවය. පවනින් ආ විරෝධාකල්ප ගී ඔස්සේ එකල දේශපාලන යථාර්ථය ගැන සමාජය දැනුවත් විය.

ඔව්. එක්දහස් නවසිය අසූ පහේ පවන ප්‍රසංගයේ පටන් රටේ සිදුවන දේවල් එක්ක තමයි අපේ වෘත්තිය ජීවිතය ගෙන ගියේ. ඉතින් මේ වෙලාවෙත් ඇත්තටම අපිට නිහඬව ඉන්න බැහැ. අද තියෙන වාතාවරණය ගැන තමයි මේ බහුබූතයෝ ගීයෙන් අපි කතා කරලා තියෙන්නේ. එනිසා මේ ගීය රසික ප්‍රජාව හොඳින් ශ්‍රවණය කරයි කියලා මම හිතනවා. අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපිට දේශපාලන කතා පවත්වන්නත් බැහැ. පාලම් බෝක්කු හදන්නත් බැහැ. ගීතය ඔස්සේ තමයි අපිට යමක් දැනුවත් කරන්න වෙන්නේ.

ගීතය සමාජ මෙහෙවරක් සඳහාය යන්න මේ දක්වා ආ ගමනේදී ඇය සනාථ කර ඇත.

උඩඟු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුණේ නැත…. මේ දෙරණේ

රටේ යුද්ධයක් නැති කාලෙදි තමයි මම උඩඟු ලියන් ගීය ගැයුවේ. පසු කාලෙක ඒ ගීයේ අර්ථය ජනතාවගේ හිත්වලට වැදුණා.

පීඩිතයාට පයින් ගසා පාලකයන් පිනවන්නට ඈ කිසිදා ඇගේ හඬ යොදා ගත්තේ නැත. තරුණ හදවත් වැළඳ ගන්නා ප්‍රේම ගීත ගයන අතර රටේ අවශ්‍යතාව මත විටින් විට ගැයූ ගී නිසා ඒ ඒ පාලන කාලවලදී දේශපාලන උදහසටද ලක් වූවාය.

මේ අනාත රට ඉස්සර
සකළ සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා
උතුම් හිතින් දෙතුන් වරක්.

කේන්තියට කියන විරිදු ඈ එසේ ගයද්දී….

මැගේ නම ලංකාය
ඉන්දියන් සාගරේ වසන්නී
මුසාවෙන් මුළාවී සිටින්නී.
විමුක්තියේ නාමෙන් හඬන්නී..

යැයි ධර්මාධිකරණයේ ගීත ගැයුවාය.

අපි අපිම රැවටිලා ඉන්නේ. අපි ඉදිරියේදීත් මේ විදිහට රැවටෙනවද කියන ප්‍රශ්නය තමයි මේ අලුත්ම ගීයෙන් සාකච්ඡා කරන්නේ. අපිට මේ ගැන දෙසැරයක් හිතලා බලන්න පුළුවන් මේ ගීය තුළින්.. යැයි ආචාර්ය නන්දා මාලිනිය කියන්නීය.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ ගීය රචනා කළා. ඔහු තමයි පවන කළේත්. පවනේ තිබුණේ වෙනම සංසිද්ධියක්. ඒ කාලේ තරුණ අසහනයක් තිබුණා. උගතකමට රැකියාවක් තිබුණේ නැහැ. අදත් එහෙම තමයි.

දැකල නැතත් මුන් සකස්කඩේ
එලු පාලි සගිස්කෘත කටින් වැටේ.
රට විකුණන් කන අතරතුරේ
දෙස බස රැස ගැනමයි කරච්චලේ

අපි හැමදාම රැවටෙමින් ගිය ගමනක ප්‍රතිඵලය තමයි අද මේ භුක්ති විඳින්නේ. මේ අලුත් ගීය මේ ගැන තවත් වරක් හොඳින් හිතා බලන්න අවස්ථාවක්.

අද සමාජය අවදි කිරීමේ කටයුත්ත එක් ගීයකින් පමණක් කළ හැකිද යන ප්‍රශ්නයට ඇගේ පිළිතුර වුණේ මෙවැන්නක්.

නැහැ. අපි බලමු. කාලෙන් කාලෙට අපේ හඬ අවදි කළානේ. මේ ගමන අපි මේ විදිහට යමු බලන්න මොනවද වෙන්නෙ කියලා. ඇස් කන් ඇරගෙන බලා ඉමු. මම අදත් පටිගත කිරීමකට ගියා. ඒ ගීය රචනා කළේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස්වල වෙසෙන මහාචාර්ය ආනන්ද දසනායක විසින්. නවරත්න ගමගේ සංගීතය නිර්මාණය කළා. බලන්න ඒ ගී පද,

කුසගිනි හැදී හඬනා දරුවන් දකිමී
ඔසු නැති නිසා ලෙඩ වැඩි වූවන් බලමී
අද හෙට බොහෝ දෙන මියැදෙන වග දනිමී
හත් දෙයියනේ හෙළයට ගිය කල කියමී

මේ වගේ ගීත කීපයක් ගායනා කරනවා. ළඟදී පල්ලේගම හේමරතන හාමුදුරුවො ලියා තිබුණා අපට කෝ ගොපල්ලෙක් කියලා. ගොපල්ලෙක් නැතුව ඔක්කොම අයාලේ ගිහින්. ඇත්තටම අපේ රස්සාවනේ ගීත ගැයීම. ඒ එක්කම මම මගේ පන්ති ටිකත් කරගෙන යනවා. අවුරුදු තිස්පහක් තිස්සේ දරුවන්ට සෙතක් සලසමින් මගේ වෘත්තිය කරගෙන යනවා.

අනේ කූඹියනේ තොපටත් රජෙක් ඉන්නේ
අපට නැත ඉන්නේ ඒ නිසාවෙන් අප තැවෙන්නේ

එදා පවනට ඇය ගැයූ ගීයක් සිහිපත් කරමින් සටහන නිමා කරන්නෙමු.

කවදා එත්ද අපගේ එක් නෙතානෝ
ගිමනට සෙවන දෙන තුරු නුග තුරාණෝ
අප සම බිමක රඳවන සොහොයුරාණෝ
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ

අජිත් අලහකෝන් – නිව්යෝර්ක්
ඡායාරූප – දයාන් විතාරණ

advertistmentadvertistment
advertistmentadvertistment