අපරාධය විද්‍යාත්මකව තහවුරු වෙයි: දැරියට අතවර කළ පූසාරි දොළොස් වසරක් දඟගෙට

428

වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පූසාරිවරයකුට කිළිනොච්චිය මහාධිකරණ විනිසුරු එම්. සහාබ්දීන් මහතා විසින් වසර 12ක බරපතළ වැඩ සහිත හිර දඬුවමක් පෙරේදා (18 දා) නියම කරනු ලැබීය.

මෙම සිරදඬුවමට අමතරව අතවරයට ලක්වූ දැරියට වන්දි වශයෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක්ද, දඩ වශයෙන් රුපියල් දසදහසක මුදලක් ගෙවන ලෙසටද විනිසුරුවරයා නියෝග කළේය.

දැරියගේ වන්දි මුදල නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර දෙකකින්ද, දඩ මුදල නොගෙවන්නේ නම් සිරදඬුවම තවත් මාස හයකින්ද වැඩිවන බව නඩු තීන්දුවේ සඳහන්ව ඇත. පූසාරිවරයා මෙම දැරියට අතවර කර ඇත්තේ 2016 ජූලි මස 11 වෙනිදාය. සිද්ධිය සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලිසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන කිළිනොච්චිය දිසා අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර එම අධිකරණයේ විභාග වූ මෙම නඩුව නීතිපතිවරයාගේ උපදෙස් මත කිළිනොච්චිය මහාධිකරණය වෙත මාරු කොට තිබුණි. දැරියගේ සාක්කි හා විද්‍යාත්මක සාක්කි මත විත්තිකරු විසින් එම අපරාධය සිදුකළ බව පැහැදිලිවම ඔප්පු වී තිබුණි. ඒ අනුව විත්තිකරුට එරෙහිව මහාධිකරණ විනිසුරුවරයා විසින් මෙම දඬුවම පනවන ලදී.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment