කඩුවෙලම හඬවමින් දිස්න පුතුගේ නිසල දේහය නිවසට රැගෙන එයි

381

කැලණි ගඟේ දිය නෑමට ගොස් කිඹුලකුට ගොදුරු වූ දස හැවිරිදි දිස්න ප්‍රබෝද් පෙරේරා පුතුගේ නිසල දේහය පෙරේදා (18 දා) රාත්‍රී කඩුවෙල, වැලිවිට ප්‍රදේශයේ නිවසට රැගෙන එනු ලැබීය. එම අවස්ථාව ඉතා සංවේදී අවස්ථාවක් විය.

අතුරුදන්ව තිබූ දිස්න පුතුගේ දේහය අඹතලේ ජල පවිත්‍රාගාරයට ආසන්නයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගනු ලැබීය. පසුගිය 17 වැනිදා දිස්න පුතු සිය මිත්තනිය කැලණි ගං ඉවුරේ රෙදි සෝදමින් සිටින අතරවාරයේ බාල සොයුරා සමග ඔහු කැලණි ගඟේ කඩුවෙල, වැලිවිට ශාන්ත අන්තෝනි මාවත තොටුපළට දිය නෑම සඳහා ගඟට බැස තිබූ අවස්ථාවේ කිඹුලකු විසින් ඔහුව ඩැහැගෙන ගොස් තිබිණි. පසුව ප්‍රදේශවාසීන් එක්ව කැලණි ගංඉවුර ආසන්නයේ කරන ලද සෝදිසි කිරීම්වලදී කිඹුලා ඩැහැගත් දිස්නි පුතුගේ සිරුර සොයාගන්නා ලදී. අනතුරුව පොලිස් නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිරුර ගොඩ ගැනීමට පියවර ගත්තේය.

දරුවාගේ සිරුරේ ස්ථාන කීපයක කිඹුලාගේ දත් පහරවල් කීපයක් දක්නට ලැබුණු බවත්, ශරීරයේ කිසිදු කොටසක් කිඹුලා විසින් ආහාරයට ගෙන නොතිබූ බවත් පොලිසිය පවසයි.

කැලණි ගඟට මුදාහැරෙන කසළ ආහාරයට ගැනීමට පැමිණෙන බැවින් කිඹුල් ගහනයද වැඩිවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. එසේම කැලණි ගඟේ වැලි ගොඩ දැමීම නතර කිරීමට විවිධ පිරිස් කිඹුලන් ගඟට දමා ඇතැයිද ඔවුන් කියති. කැලණි ගඟ දෙපස දියනෑම සඳහා තොටුපළ රැසක් ඇතත්, එම තොටුපළ ආශ්‍රිතව කිසිදු ආරක්‍ෂණ වැඩපිළිවෙළක් සකසා නැත. දිස්නට අත්වූ විපත අසා විශාල පිරිසක් කඩුවෙල, වැලිවිට පිහිටි නිවසට ඇදී එමින් සිටිති. දිස්න පුතුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20 දා) වැලිවිට රෝමානු කතෝලික සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ සුගත් ප්‍රේමතිලක – කඩුවෙල

advertistmentadvertistment
advertistmentadvertistment