මිනිසුන් වන අපට සතුනට වඩා සිතීමේ හා ක්‍රියාකිරීමේ හැකියාව ලැබී තියෙනවා. තරගකාරී සමාජ වටපිටාව තුළ ක්‍රමයෙන් මිනිස්කම ඈත්වත්ම මව්පියන්, දරුවන්, වැඩිහිටියන් පිළිබඳව අතීතයේ පැවති ගුණයන් සීග්‍ර ලෙස වෙනස්ව පිරිහීමට ලක්වී ඇති වටපිටාවක මිනිසුන්ගේ සමීපතමයා, ආරක්ෂිතයා, මිත්‍රයා, සුරතලා මෙන්ම නූතනයේ විවිධ කරුණු සඳහා සමීපව යොදාගන්නා සුනඛයන් සඳහා ආදරය, රැකවරණය ලබාදෙමින් ඔවුන්ව ජීවත්කරලීමේ සටනක නියැළී සිටින අපූරු මිනිස් ගුණ ඇති දිරිය කාන්තාවක් අපට හමුවන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගෙලිඔය ප්‍රදේශයෙනි. අංක 205/6 වලව්වත්ත, දව්ලගල පාර, ගෙලිඔය යන ලිපිනයේ පදිංචි රෝෂනි ගුණරත්න නම් ඇය සතා සිව්පාවුන්හට දැඩි ලෙන්ගතුකමක් දක්වමින් මේ වනවිට සුනඛ සුරතලුන් 75 දෙනකුට අධික ප්‍රමාණයක් ඇතිදැඩි කරනු ලබයි. මේ අතර විවිධ රෝගාබාධවලට ලක්වූ සතුන්, අනතුරුවලට ලක්වූ සතුන්, විවිධ හේතු මත සමාජයේ අත්හැර දමායන සුනඛයන් ඇයගේ සෙවනේ ජීවය ලබයි. විවිධ අඩුපාඩු මධ්‍යයේ සිය ජීවිකාව ගෙනයන අතර, මෙම සුරතලුන්ගේ ජීවත්වීමේ අයිතියට පණපොවන නිරෝෂා රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ දැඩි ගැටලු රැසකට මුහුණපා ඇති බව අපහට පැවසීය.

ආදරය, දයාව, සෙනෙහස, වැඩිහිටියන්ට සැලකීම මෙන්ම සත්ව කරුණාව ද ජීවිතයේ උතුම් වූ ගුණාංගයන් වේ. තරගකාරී සමාජ රටාව තුළ ජීවිතය ජය ගැනීමට වෙරදැරිම වෙනුවට සතා සිව්පාවාට කරුණාව දැක්වීමේ උතුම් ගුණය පිහිටනුයේ ද මිනිසුන් තුළ වීමේ ආදර්ශය සමාජයට ලබාදීම වෙනුවෙන් පවතින සමාජ ආර්ථික වටපිටාව හමුවේ පිහිටක් අවැසි මොහොතක පිළිසරණක් වෙනුවෙන් දෑත් දිගුකරන ගෙලිඔය නිරෝෂාගේ කාතාව, ඇය සිය හඬ ‘දිවයින’ වෙත මෙසේ අවදි කළේය.

අයාලේ යන බලු සුරතලුන්ට සෙනෙහස බෙදන නිරෝෂා

මම ඉන්නේ මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ, මුලින්ම මගේ ළඟ බලු සුරතලුන් පස් දෙනෙක් හිටියා, හැදී වැදුණා. ඒ අතර මම නගරයට යනවිට පාරේ ඉන්න මග දමාගොස් ඉන්න සතුන්හට යෝගට් වගේ දේවල් අරන්දෙන්න පුරුදු වුණා. ටික කාලයක් යනකොට ඒ අය විඳින වේදනාවල් මට හොඳින් දැනෙන්න පටන් ගත්තා. පස්සේ මට හිතුණා මට හැකි අයුරින් මේ සතුන් හට උදව් කරන්න ඕන කියලා. ඔය අතරේ මට ආරංචියක් ලැබුණා ගැහැනු සතුන් සැත්කමකට ලක් කරන ආයතනයක් පිළිබඳව. ඊවා ට්‍රස්ට් (Ewa Trast) කියන ආයතනයෙන් මේ සඳහා කටයුතු යොදනවා කියල. පසුව ඒ ආයතනය හා එක්වෙලා සම්බන්ධවෙලා ඔවුන් ගෙනයන වැඩසටහන්වලට දායකත්වය ලබාදුන්නා. ඒවාගේම මම ඒ වගේ වැඩසටහන් සංවිධානය කරන්නත් පෙළඹුණා. ඒ වාගේම මේ කාලයේම විවිධ ආබාධවලට ලක්වූ මරණයට ගොදුරු වෙන්න යන සතුන් මුලින් එක්කෙනා, දෙන්නා ගෙනල්ලා බෙහෙත් කරන්න පටන් ගත්තා. එහෙම ගෙනත් 25 දෙනෙක් දක්වා වැඩි වුණා. මෙහෙම කරන්න ගත්තු සේවය අද මගේ ජීවිතය බවට පත්වෙලා. මට බලන් ඉන්න බෑ සතුන් දුක්විඳිනවා. කොහේ ගියත් යනකොට අසරණ වූ සතෙක් දැක්කොත් මම ගෙනවා. කකුල්, අතපය නැතිව ඒ සතුන් විඳින වේදනාව බලාගෙන ඉන්න බැරි නිසා. ක්‍රමයෙන් මේ තත්ත්වය මම වෙනම සතුන් හට සාත්තු සේවයක් දක්වා වර්ධනය කර ගත්තා. අද වෙනකොට මගේ ළඟ සුනඛ සුරතලුන් 75කට අධික ප්‍රමාණයක් ඉන්නවා. ඒ හැමෝම අසරණ වෙලා හිටිය අය. කකුල්, අතපය නැතිව සිටි ඒ සතුනට මගේ පිහිට විතරයි අද ඔවුන්හට ලැබෙන්න. මහනුවර හැමෝම මාව දන්නවා. සතෙකුගේ ගැටලුවක් ආවොත් මට කතා කරන තත්ත්වයට අද පත්වෙලා තියෙනවා.

අයාලේ යන බලු සුරතලුන්ට සෙනෙහස බෙදන නිරෝෂා

නිරෝෂා පවසන පරිදි මේ සුනඛ සුරතලුන් ගේ කාර්යයන් ඉටු කිරීම ලේසි පහසු නෑ. සතුන්හට ආහාරාපාන ලබාදීම, රෝග සඳහා බෙහෙත් ලබාදීම, රැකවරණය හා සතුන් නෑවීමේ සිට සියලු කටයුතු සිදුකරන්න අවශ්‍ය පරිසරය සකස් ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ වාගේම අද වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය නිසා නොහිතපු ගැටලු රැසකට මුහුණදෙන්නත් සිදුවෙලා. මේ කරුණු පිළිබඳව ඇය අපට මෙසේ කරුණු දැක්වුවා, මුලදී මේ සත්තු නඩත්තු කරන්න මට වැයවුණේ දිනකට රුපියල් 3000.00 ක් වගේ මුදලක්. කිසිම ගැටලුවක් පැවතියේ නෑ. සතුන්ට හොඳින් කෑම දෙන්න සාත්තු කරන්න හැකියාව ලැබුණා. කොරෝනා කාලෙත් හොඳින් මේ කටයුතු සිදු කළා. නමුත් අද පවතින රටේ තත්ත්වය නිසා හරිම ගැටලු රැසක් ඇතිවෙලා තියෙනවා. රටේ තියෙන ආර්ථික ගැටලුව එක්ක මේ සතුන්ගේ ආහාර ටික සපයා ගැනීමේ ගැටලුව අද ප්‍රධාන වෙලා තියෙනවා. මේ සතුන්ට කෑම ටික දී ගන්න විදිහක් නැතිව ඉන්නේ අද. මමත් අද මේ සතුන් ගාණටම අසරණ වෙලා. දැනට මගේ ළඟ ඉන්න සතුන් 75 දෙනෙක් ඉන්නවා. ඒ වාගේම වටපිටාවේ කෑම බලාගෙන හැමදාම ඉන්න පිරිසකුත් ඉන්නවා. ඒ ඔක්කොම 100 ක් විතර. එක දවසකට මේ සියලු දෙනාට හාල් කිලෝ 22ක් අවශ්‍ය වෙනවා. අද හාල් පිළිබඳව ගැටලුව තදින්ම බලපාලා තියෙනවා. සතුන්හට අවශ්‍ය මස් හා අනෙකුත් ආහාර සල්ලි තියෙනකොට දෙන්නම් කියලා හරි ගන්නවා. ඒ මේ අසරණ සතුන් වෙනුවෙන්. නමුත් අද තියෙන තත්ත්වය එක්ක මට කිසිම කඩයකින් ණයට බඩු දෙන්නේ නෑ. අද හාල් කිලෝ එක්ක රුපියල් 220.00 ක් වෙනවා. විශාල මුදලක් මේ සඳහා අවශ්‍යයි. මම හෝටල්වල ඉවත් කරන කෑම ඇද්දා මේ සතුන් වෙනුවෙන්. අද ඒවත් නෑ. ඌරු කොටුවලට ගෙනයනවා ඒවා. මම හරිම අසරණ වෙලා ඉන්නේ මේ ගැටලුව නිසා. එක දවසකට වියදම රුපියල 9000.00 ක් – 10000.00 ක් අවශ්‍ය වෙනවා හාල් ටික ගන්න. මේ පවතින අර්බුදය නිසා ඒක දරාගන්න බෑ. තව ලයිට්, වතුර බිල් ගෙවන්නත් ඕනෑ යැයි දුක්මුසු ස්වරයෙන් පැවසීය.

බෞද්ධ රටේ අපි අදහන ආගම් අනුව සතුන්ට වුණත් කරුණාව දක්වන්න ඕන. ඒ සඳහා කැපවුණු මම අද ගැටලු රැසකට මැදිවෙලා. කියන්න කෙනෙක් නැති ගාණට අසරණ වෙලා ඉන්නේ. මටත් දැන් ජීවිතේ එපා වෙලා තියෙන්නේ කර ගන්න දෙයක් නෑ ඒ තරමට අසරණයි. මම ඉල්ලා සිටින්නේ මේ අසරණ සතුන් වෙනුවෙන් දානය පින්කමක් කරනවා කියලා හිතලා කවුරුහරි මේ සතුන්ට කෑම ටිකක් දෙන්න ඉදිරිපත් වෙන්න කියලයි මම මේ සමාජයෙන් ඉල්ලා සිටින්නේ යැයි ඇය මහත් අසරණව අප වෙත පැවසීය.

ජානක සම්පත් බණ්ඩාර –
ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment