සොබාදහමේ කිසිවක් හුදකලා නැත

25

අපි මේ හිඳින්නේ හොලෝසීනයේ සිට ඇන්ත්‍රොපොසීනය දක්වා යන ගමනේ අතරමඟකය.ිදැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ වගේ කියමන් අනුව පැහැදිලි වෙනවා දැනුවත් වීම කෙතරම් වැදගත් ද කියලා. ඒ නිසා කතරගම ගියත් ඇන්ත්‍රොපොසීනයට ගියත් දැනගෙන යෑම වැදගත්. ඉතින් අද මේ සාකච්ඡාව ඒ පිළිබඳවයි.

කාර්මික විප්ලවයේ ජීව රුධිරය වුණේ බලශක්තිය. මිනිසා බලශක්තිය ලෙස ගල් අඟුරු, ගෑස්, පෙට්‍රෝලියම් වැනි ඛනිජ ඉන්ධන භාවිතය ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. වැඩිවන ඉල්ලුමට සාපේක්ෂව සම්පත් සොයා ගවේෂණ කැණීම් සිදුවුණා. නව සම්පත් වෙනුවෙන් බිම් අවශ්‍ය වුණා. භූමි පරිහරණයන් තීරණාත්මක වෙනසකට ලක් වුණා විතරක් නෙවෙයි ඒ වෙනස් කම් නිසා නව ගැටුම් සහ අර්බුද ඇති වුණා.

විශේෂයෙන්ම ඉන්ධන දහනය නිසා වායු දූෂණය ප්‍රමුඛව දේශගුණික විපර්යාසවලට තුඩු දෙන තත්ත්වයන් නිර්මාණය වුණා. අද වනවිට දේශගුණික විපර්යාසයේ තවත් උපද්‍රව දාමයක් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම ඕසෝන් වියන සිදුරු වීම, ජලය, ගොඩබිම, සාගරය ආශ්‍රිත පරිසර පද්ධති මානව ක්‍රියාකාරකම් නිසා දූෂ්‍ය වී තිබෙනවා. ඒවායින් වන පරිසර පද්ධති සේවා අහිමි වී යෑමේ තර්ජනයක් ද අප ඉදිරියේ තිබෙනවා.

මෙයට සමගාමීව කෘෂිකර්මය ද වෙනසට ලක් වුණා. කෘෂිකර්මයට ලොව භූමියෙන් පහෙන් දෙකක් පමණ යෙදවී තිබෙනවා. හරිත විප්ලවය කෘෂිකර්මය නව දිශානතියකට යොමු කළා. නමුත් අවාසනාවකට එහිදී ගුණයට වඩා ප්‍රමාණයට වැඩි තැනක් හිමිවුණා. මේ නිසා කෘෂිකර්මයේ දී පරිසරයට දැඩි පීඩනයක් එල්ල වී තිබෙනවා. ඇමරිකානු විද්‍යාඥවරියක් වගේම ගෞරවනීය පරිසරවේදනියක වන රචෙල් කාසන් (Rachel Carson) මිනිසාගේ මේ අමනෝඥ වැඩ නිසා පරිසරයට වන බලපෑම පිළිබඳව 1962 දී නිහඬ වසන්තය හෙවත් The Silent Spring නම් කෘතියෙන් (මෙහි සිංහල පරිවර්තනය ‘වසන්තය නිහඬ විය’ (ආචාර්ය චන්දි රාජපක්ෂ) ලොවට කීවත්, ඒ කාලේ කවුරුත් ඇයගේ අනතුරු ඇඟවීම පිළිබඳව තැකුවේ නැහැ. ඒ විතරක් නොව ඇගේ ලිවීම් මනෝ විකාර විදියට චෝදනා කරමින් ඇයට පරිභව කළ බව ද ඇය කියනවා.

“පෘථිවියේ සුන්දරත්වය ගැන මෙනෙහි කරන අය ජීවිත පුරාවට පවතින ශක්තියේ සංචිත සොයා ගනු ඇත. ස්වභාව ධර්මයේ නැවත නැවත සිදුවන වැළැක්වීමේ ක්‍රියාවලීන් තුළ අසීමිත සුවපත් කිරීමේ හැකියාවක් ඇත. “රාත්‍රියෙන් පසු උදෑසනත්, ශීත ඍතුවෙන් පසු වසන්තයත් පැමිණෙන බවට සැකයක් නැත. සොබාදහමේ කිසිවක් තනිවම පවතින්නේ නැත”.’

මුලින් ඇය පැවසූ දේ නොපිළිගත්තත් පළිබෝධ නාශකයක් ලෙස DDT (dichloro-diphenyl-trichloroethane) භාවිතයෙන් පරිසරයට සිදු වූ අහිතකර බලපෑම් මතුවන්නට එතරම් කාලයත් ගියේ නෑ. ඇය කියූ දේ වල සත්‍යතාව ලොව විවිධ ප්‍රදේශවලින් වාර්තා වුණා. ආහාර දාම සහ ජාල වල ඩී ඩී ටී සංසරණය වෙමින් පරිසර පද්ධති සහ ඒවායේ සංරචකවලට දැඩි බලපෑම් එල්ල කොට තිබුණා. එපමණක් නොවේ, මිනිසා ද එහි ගොදුරක්ව තිබුණා. අප පරිසරයට මුදා හල විෂ පෙරලා අප වෙතම ඍජුව හා වක්‍රව පැමිණ තිබුණා. ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ඇස් ඇරුනේ ඊට පසුවයි. මේ ක්‍රියාකාරකම් නියාමනයට අවශ්‍ය ප්‍රතිපාදන සැකසුනේ ඊට පසුවයි.

අප අද වනවිට ඇය කියන මේ ජීවන ව්‍යවහාරවලින් බොහෝ දුරස්ථව සිටින බවට සැකයක් නෑ. ඒ වගේම පෘතුවියේ ස්වභාවික ක්‍රියාවලියට අප දැඩි පීඩනයක් ඇති කරලා. ඒ විතරක් නෙවෙයි අපි එහි ප්‍රතිවිපාකත් හොඳින් අත්විඳිමින් සිටිනවා.

දැන් ඔබට කල්පනා කරනවා ඇති මේ සියලු කරුණු ඇත්ත වුණත් එය නව භූ විද්‍යාත්මක අවධියක් නම් කරන්න හේතුවෙන්නේ කොහොමද කියලා. මම ඒක මෙහෙම උදාහරණයකුත් එක්ක පැහැදිලි කරන්නම්. දේශගුණික විපර්යාසවලට මානව ක්‍රියාකාරකම්වල ඍජු දායකත්වයක් ඇති බව ඔබ දැනටමත් දන්නවා. මේ නිසා ග්ලැසියර්, හිම කඳු, මිදුණු පස්තට්ටු දියවෙලා භූ රූප විද්‍යාත්මක වෙනස්කම් ඇති කරනවා. අවසානයේ මේ දියවීම් සමග සාගර ජල මට්ටම ඉහළ යනවා. ඒ වගේම මේ දියවෙන ජලයේ ඇති රසායනික සාගර ජලය ප්‍රමාණාත්මකවත්, එහි සංයුතිය ගුණාත්මකවත් වෙනස්කම් කරනවා. එසේ කරමින් ඛාදනය, ප්‍රවාහනය සහ නිධිසාධනය වැනි භූ විද්‍යාත්මක ක්‍රියාවලීන්ට දායකත්වය දක්වනවා.

දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් විදිහට සාගර ආම්ලික වෙමින් තිබෙනවා. මේ තත්ත්වය සාගර ජීවයට ඍජුවම බලපෑම් කරන අතර කාබනේට් සංයුතීන් දියවී යෑමට හේතු වන බව විද්‍යාඥයින් අනාවරණය කරගෙන තිබෙනවා. එය සාගරයේ භූ විද්‍යාත්මක ක්‍රියාවලියට බලපෑම් කරනවා. ඒ වගේම දේශගුණික විපර්යාසවල ප්‍රතිඵලයක් ලෙස ජීවී විශේෂ රාශියකගේ නේවාසික අහිමිවීම හරහා වඳවීමේ තර්ජනයට ලක්ව සිටිනවා. සයවන මහා නෂ්ඨ වීම (6 th Mass Extinction) ලෙස හඳුන්වන්නේ මේ ක්‍රියාවලියයි. මේ සඳහා ඍජුව දායකත්වය දක්වන්නේ මිනිසා වන අපි යි.

මේ නෂ්ට වීම නැතිනම් විශේෂ වඳවීමේ ක්‍රියාවලිය පෘථිවි ඉතිහාසයේ පෙර නොවූ විරූ ස්වභාවයක් ගනු ඇතැයි විද්‍යාඥයින් දැනටමත් අනාවැකි පළ කරනවා. එහිදී වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ ෆොසිල (Fossils) සාක්ෂි වැනි කරුණු කෙරෙහි පූර්ව කාර්මික යුගයේ පාෂාණ ස්ථරවල තැන්පත් වී ඇති පොසිල සහ ඊට පසුව තැන්පත් වූ පොසිල අතර වෙනස්කම් පිළිබඳව මෙහි දී සාකච්ඡා වෙනවා.

හරි දැන් අපි අයෙත් කතාවේ මුලට එමු. ඔබ මම ඇන්ත්‍රොපොසීනය පිළිගන්නවා නම්, දැන් මේ මොහොතේ අප හොලෝසීනයේ සිට ඇන්ත්‍රොපොසීනය වෙත තල්ලු වෙමින් තිබෙනවා. අප මේ අවධියේ සිදු කරන දේ කුමක් ද? භූමිකාව කුමක් ද? අපගේ ක්‍රියාකාරකම් ගැන නැවත සිතා බැලිය යුතු නොවේ ද? අප මේ අවධිය පසු කරන්නට හදන්නේ කෙසේ ද? එසේත් නැතිනම් අප මේ එළැඹෙන හෝ පසු කරන අවධිය අපගේ ගමන් මග තීරණය කරාවි ද? මෙවැනි සැක-සංකා පැවතියත් අප මෙතෙක් ගොඩනඟා ගත් දැනුම විද්‍යාව හා තාක්ෂණය කෙරෙහි තවදුරටත් බලාපොරොත්තු තබාගත හැකි බවයි අපගේ අදහස. නමුත් ඒවා අප භාවිත කළ යුත්තේ විනාශය හෝ ලාභය සඳහා නොවෙයි. පෘථිවියේ සහ ජීවයේ අඛණ්ඩ යහපැවැත්ම වෙනුවෙනුයි. ඒ සඳහා වන මානව මැදිහත්වීම් අවශ්‍යයි. ආකල්පමය විප්ලවයක් අවශ්‍යයි.’ මේ මොහොතේ දසදහස් ගණනයෙන් ඉදිරිගාමී දැක්මක් ඇති මිහිතලයේ රැකවලුන් නිර්මාණය කළ යුතුයි. ඒ වෙනුවෙන් අත්වැල් බැඳගැනීමට සහ පෙළගැසීමට ඔබටත් මටත් අප සියලු දෙනාටමත් මිහිතලයේ වර්තමානිකයන් ලෙස මඟහැර යා නොහැකි වගකීමක් හා යුතුකමක් තිබෙනවා.

මේ සාකච්ඡාව අවසන් කරන්න රචල් කාර්සන් පරිසරවේදනීයගේ මේ ප්‍රකාශය වඩාත් ගැළපෙන බව මට හැඟෙනවා. “අප, විශ්වයේ ඇති අරුම පුදුම දේ සහ යථාර්ථයන් කෙරෙහි වඩාත් පැහැදිලිව අපගේ අවධානය යොමු කළ හැකි තරමට, විනාශය සඳහා අපට ඇති රසය අඩු වනු ඇත”.

ඉතින් මම ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබගේ රසය වෙනස් කරගන්නා හැටියට.

මංජුල කරුණාරත්න
භූගෝල විද්‍යා අධ්‍යනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment