අලි එළවන්න දෙමටවැවට ගිය වනජීවියේ නිලධාරියාට ගැමියකුගෙන් කැති ප්‍රහාරයක්

221

තිරප්පනේ, සිවලාකුලම පොලිස් වසමේ දෙමටවැව ප්‍රදේශයට පැමිණි වල් අලි රංචුවක් පළවා හැරීමට පෙරේදා (07) රාත්‍රී වනජීවී දෙපාර්තමේන්තුවේ තිරප්පනේ කාර්යාලයේ සේවයෙහි නියුතු නව දෙනෙකුගෙන් සමන්විත නිලධාරින් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබේ.

එහිදී නිලධාරීන් හා ගම්වැසියකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිගයෑමෙන් කෝපයටපත් ගම්වැසියා විසින් නිලධාරියකුට කැති ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහිදී වෙනත් නිලධාරියකු විසින් රබර් උණ්ඩයකින් එම පුද්ගලයාට වෙඩි තැබීමෙන් ඔහු තුවාල ලබා තිබේ.

මෙහිදී තුවාල ලැබූ ගම්වැසියා සහ වනජීවී නිලධාරියා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අංක 11 වාට්ටුවට ඇතුළත් කොට ඇත. එම සිද්ධියේදී වනජීවී නිලධාරීන්ට කැති ප්‍රහාරයක් එල්ල කළ බව කියන පුද්ගලයාට වනජීවී නිලධාරියෙකු විසින් තැබූ රබර් උණ්ඩ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු පාදයේ කලවා ප්‍රදේශය තුවාල වී තිබේ. එම පුද්ගලයා විසින් එල්ල කළ බව කියන කැති ප්‍රහාරය වැළැක්වීමට උත්සාහ කිරීමේදී වනජීවී නිලධාරියාගේ දකුණු අතේ වළලුකර ප්‍රදේශයට තුවාල සිදු වී තිබේ. තම ගම්මානයට වල් අලි පැමිණි බව කළ දැනුම්දීමට වනජීවී නිලධාරින් විසින් කඩිනම් ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් කුපිතවූ ගම්වැසියා හා වනජීවී නිලධාරින් අතර ඇති වූ බහින්බස්වීමකදී මෙම ගැටුම හැට ගෙන ඇති බව පොලිසිය පවසයි.
අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment