අස්වැසුම අභියාචනාවලින් පසු තවත් පවුල් ලක්ෂ 3කට ප්‍රතිලාභ – වැඩබලන මුදල් ඇමැති ෂෙහාන් සේමසිංහ

95

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනට ඉදිරිපත්ව තිබූ සියලු විරෝධතා සහ අභියාචනා සළකා බැලීමෙන් පසු පවුල් ලක්‍ෂ 3ක් අලුතින් අස්වැසුම ලැබීමට සුදුසුකම් ලබා ඇතැයි වැඩබලන මුදල් ඇමති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලබන මුළු පවුල් සංඛ්‍යාව ලක්‍ෂ 17ක් ඉක්මවා යන බවද ඇමැතිවරයා කීවේය.

අස්වැසුම මීළඟ වාරික මුදල ලබාදීමට පෙර අලුතින් අස්වැසුම ලැබීමට තේරුණු පවුල් වෙත ඉකුත් ජුලි සිට දෙසැම්බර් මාසය දක්වා වූ වාරික හැකි ඉක්මණින් ලබාදීමට කටයුතු කරන බවද ඇමැති සේමසිංහ මහතා සඳහන් කරයි.

අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන සම්බන්ධයෙන් ඉදිරිපත්ව තිබූ විරෝධතා සහ අභියාචනා 640,000ක් සලකා බැලීමෙන් පසුව මෙසේ අලුතින් ලක්‍ෂ 3ක් අස්වැසුම ලැබීමට සුදුසුකම් ලැබූ බවද අභියාචනා හා විරෝධතා හේතුවෙන් අස්වැසුම ලබමින් සිටි පවුල් 5209ක් අස්වැසුම ලැබීමට නුසුදුස්සන් බවට පත්ව ඇති බවද ඇමැතිවරයා කියයි.

මේ අතර තවත් පවුල් 2567ක්තමන් අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටි මට්ටමෙන් පහළට ගමන් කර ඇති අතර තවත් පවුල් 50,882ක් අස්වැසුම ප්‍රතිලාභ මට්ටමේ ඉහළට ගමන් කර ඇති බවද ඇමැතිවරයා කියයි.

තවමත් සලකා බලා නොමැති අභියාචනා සහ විරෝධතා ද ඉක්මණින් සලකා බලා අවසන් කරන බවද වැඩබලන මුදල් ඇමැති සේමසිංහ මහතා තවදුරටත් කීවේය.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිලධාරීන් සමග ඊයේ (18 දා) මුදල් අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඇමැතිවරයා මේ බව මාධ්‍යයට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment