අස්වැසුම ගෙවීමට මහා භාණ්ඩාගාරයෙන් බැංකුවලට කෝටි 500ක්

83

ලංකා බැංකුව – මහජන බැංකුව අදත් විවෘතයි

කෝටි 439.5ක් ගිණුම්වලට යවා අවසන්

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා රු. කෝටි 500 ක මුදලක් මහා භාණ්ඩාගාරය විසින් බැංකු වෙත යොමු කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.

එම මුදල ලබාදුන්නේ අභියාචනා හෝ විරෝධතා නොමැති දැනට තෝරාගෙන ඇති ලක්ෂ 8 ක් පමණ වන අස්වැසුම ප්‍රතිලාභීන් වෙත ගෙවීම සඳහා බව ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

මේ සමඟ සම්බන්ධවී සිටින රාජ්‍ය බැංකු කැඳවා ඔවුන් සමඟ කිසිදු බාධාවකින් තොරව මෙම නව වැඩපිළිවෙළ යටතේ ප්‍රතිලාභ ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු ගැන ඊයේ (29දා) සාකච්ඡා කළ බව ද රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා කීවේය.

මේ අතර අස්වැසුම ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කිරීම සඳහා අද (30දා) පොහොය දිනයක් වුවත් ලංකා බැංකුව සහ මහජන බැංකුව විවෘතව තැබෙන බව ද රජය කියයි.

අස්වැසුම ප්‍රතිලාභ ගෙවීම සඳහා බැංකුවලට ලබාදුන් රු. කෝටි 500න් රු. කෝටි 439.5ක් ඊයේ (29) බැංකු විසින් අස්වැසුම ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට තැන්පත් කර ඇත. හඳුනාගත් අස්වැසුම ප්‍රතිලාභීන් මිලියන දෙක අතුරින් ප්‍රතිලාභීන් මිලියන 1.5කට අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කළ බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

මේ අනුව ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු රෝගීන් සඳහා දීමනා දැනටමත් ගෙවා ඇති බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment