ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්න වෙන්නේ වේදනාකාරී තීරණ – මහ බැංකු අධිපති

240

දැනටමත් ඝාතනය වී ඇති ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය සහ මහ බැංකුව යන දෙපැත්තෙන්ම ගැනීමට සිදුවන්නේ වේදනාකාරී තීරණ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා “දිවයින”ට පැවසීය.

ආර්ථිකය අවපාතයක් තියෙන කාලයකදී ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා එවැනි තීරණ ගන්නා විට මහජනතාවට විශාල වශයෙන් ඒ වේදනාව දැනෙන බවද මහ බැංකු අධිපතිවරයා අවධාරණය කළේය.

එහිදී රජය පැත්තෙන් දේශපාලන ස්ථාවරභාවය පවත්වාගෙන යෑම අවශ්‍යයි. මේ ජනාධිපතිතුමා පැමිණ අස්ථාවර දේශපාලන තත්ත්වය ස්ථාවරව පවත්වාගෙන ගිය නිසා තමයි අඩුම ගානෙ මේ ප්‍රගතිය මේ මට්ටමින් ගන්න පුළුවන් වුණේ. ඒ නිසා මොන ආණ්ඩුව ආවත් නිවැරදි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට පුළුවන් වාතාවරණයක් රටේ පැවැතිය යුතුයි. එය පළමු කරුණ බවද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

මේ වගේ ආර්ථික අර්බුදයකදී උද්ධමනය වැඩිවෙලා තියෙනවා. ජනතාවට ජීවන වියදම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බදු බර වැඩිවෙලා. එහිදී වැඩිම බලපෑම ඇති වෙන්නේ අඩුම ආදායම් ලබන පුද්ගලයන්ටයි.

රටේ දුප්පත්ම කොටස තවත් දුප්පත් වෙනවා. දුප්පත්කමේ රේඛාවෙන් පහළට යන ප්‍රමාණය වැඩියි. එහිදී රජයේ පළමු වගකීම වන්නේ දුප්පත් අය ආරක්‍ෂා කිරීමයි. එහෙම නැත්නම් දේශපාලන ස්ථාවරභාවයත් පවත්වාගෙන යන්න අමාරු වෙනවා. ඒ නිසා ඒ අයට අමාරුවෙන් හරි ජීවත් වෙන්න පුළුවන් සහනයක් රජය ලබාදිය යුතුයි යැයිද මහ බැංකු අධිපතිවරයා කීවේය.

මෙවැනි විදේශ විනිමය අර්බුදයක් තිබියදී හැම දේම ආනයනය කරලා කලින් තිබුණ වගේ සුඛෝපභෝගී විදිහට ජීවත්වීමට අපහසු බවද ආර්ථික තත්ත්වය ස්ථාවර වනතුරු තම ජීවන රටාව සහ ජීවන රටාව තුළ වෙනසක් ඇතිකර ගැනීමෙන් මේ අර්බුදයෙන් ගොඩ ආ හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තවදුරටත් “දිවයින”ට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment