ඇඟලුම් කර්මාන්තයටත් විදුලිසර වදී!

120

විදුලි ගාස්තු ඉහළ දැමීමේදී දිවා කාලයේදී සහ කාර්ය බහුල නොවන අවස්ථාවලදී මෙතෙක් පැවැති විදුලි ගාස්තු සහනය ඉවත් කිරීම නිසා ඇඟලුම් කර්මාන්තයට බරපතළ අර්බුදයක් මතුව ඇතැයි ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය පවසයි.

2025 වසර වන විට ශ්‍රී ලංකාවේ වාර්ෂික ඇඟලුම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 08 දක්වා ඉහළ නැංවීමට තම සංසදය ගන්නා උත්සාහයට මෙය අහිතකර ලෙස බලපානු ඇති බව ද ඔවූහු සඳහන් කරති.

කර්මාන්ත අංශ සඳහා දිවා කාලයේදී ඒකකයට මෙතෙක් පැවැති රුපියල් 11.00ක ගාස්තුව රුපියල් 29.00 දක්වා ඉහළ දමා ඇත. කාර්යබහුල කාලයේදී මෙතෙක් පැවැති රුපියල් 20.50 ක ඒකකයක් සඳහා වූ ගාස්තුව රුපියල් 34.50 දක්වාත් කාර්යබහුල නොවන අවස්ථාවන්හිදී සිට මෙතෙක් පැවැති රුපියල් 6.85ක ගාස්තුව රුපියල් 15.00 දක්වාත් ඉහළ දමා ඇතැයි ද ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය පවසයි.

මහජන උපයෝගීතා කොමිසම මගින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට සකස් කළ මූලික යෝජනා අනුව කාර්මික අංශය සඳහා කාර්ය බහුල නොවන වේලාවන්හි දී පැවැති විදුලි ගාස්තුව රුපියල් 6.85 සිට රුපියල් 14.50 දක්වාත් දිවා කාලයේ ගාස්තුව රුපියල් 11.00 සිට රුපියල් 18.50 දක්වාත් වැඩි කිරීමට යෝජනා වී තිබූ බවද එම සංසදය සඳහන් කරයි.

මෙම මූලික ලේඛනයේ සඳහන් කාර්ය බහුල නොවන අවස්ථාවලදී ගාස්තුව තරමක් ඉහළ බැවින් යෝජිත ගාස්තු සියයට 50 කින් අඩුකර අදියර දෙකකින් ක්‍රියාත්මක කළ යුතු බවට තම සංසදය යෝජනා කළ බව ද පවසයි. කෙසේ වෙතත් තම සංසදයේ යෝජනා නොසලකා හැර මහජන උපයෝගිතා කොමිසම මුල් ලේඛනයේ සඳහන් කාර්ය බහුල නොවන අවස්ථාවන්හිදී ගාස්තු වැඩිවීමට වඩා අවසන් යෝජිත ලේඛනයේදී ගාස්තු ඉතා ඉහළ අගයකින් වැඩිකර ඇතැයි ද සඳහන් කරයි. ඒ අනුව කාර්මික අංශය තුළ කාර්යබහුල නොවන අවස්ථාවල විදුලි ගාස්තුව සියයට 113 ක අසාමාන්‍ය වැඩිවීමක් සිදුව ඇති බවත් එය මෙම කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇතැයි ද ප්‍රකාශ කරයි.

දිවා කාලයේ විදුලි ගාස්තු මධ්‍යස්ථ වූ බැවින් තම සංසදය ඊට යෝජනා ඉදිරිපත් නොකළ බවත් නදුත් මහජන උපයෝගිතා කොමිසමේ පළමු ලේඛනයේ සඳහන්ව තිබූ එම ගාස්තුවලට වඩා ඉහළ අගයකින් අවසන් යෝජිත වාර්තාව මගින් ප්‍රකාශයට පත්කර තිබූ බවත් සඳහන් කරයි.

ඒ අනුව තම සංසදය ඉදිරිපත් කළ යෝජනා නොසලකා හැර විදුලි ගාස්තු ඉහළ නැංවීම මගින් කාර්මික අංශය සඳහා බරපතළ ගැටලු රැසක් මතුව ඇතැයි ද ඒකාබද්ධ ඇඟලුම් සංවිධාන සංසදය පවසයි.

එබැවින් ඉතා ඉහළ ගොස් ඇති කාර්ය බහුල නොවන සහ දිවා කාලයේ විදුලි ගාස්තු පිළිබඳව නැවත සලකා බලන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටින බවත් එම සංසදය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment