ඇමැතිනී පවිත්‍රාගේ පවුලේ තේ කර්මාන්ත ශාලාවක් ගින්නෙන් විනාශවෙයි – නවතා තිබූ ලොරි 5කුත් ගින්නට බිලිවෙයි

192

වනජීවී සහ වනසංරක්ෂණ ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුලට අයත් රත්නපුර ලෙල්ලෝපිටිය වැලිමළුව ප්‍රදේශයේ පුද්ගලික තේ කර්මාන්ත ශාලාවක් ගින්නකින් සම්පූර්ණයෙන්ම විනාශ වීමෙන් රුපියල් කෝටි ගණනක අලාභයක් සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම ගින්න ගැන පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. විදුලි කාන්දුවක් හෝ එවැනි අභ්‍යන්තර සිද්ධියක් ගින්න හටගැනීමට හේතුව විය හැකි බව පොලිසිය විශ්වාස කරයි. ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පවුල් අය විසින් මෙම තේ කර්මාන්ත ශාලාව පවත්වාගෙන යයි.

ඊයේ 23 අළුයම දෙකට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ටික වේලාවකින් ගින්න මුළු කර්මාන්ත ශාලාවටම පැතිර ගොස් තිබේ.

ගින්න හටගත් අවස්ථාවේදී සේවක සේවිකාවන් දස දෙනකුට අඩු පිරිසක් කර්මාන්ත ශාලාවේ රැඳී සිට ඇතැයි පොලිසිය පවසයි. ගින්නෙන් සිදු වූ අලාභය රුපියල් කෝටි ගණනක් වන අතර එය මෙතෙක් තක්සේරු කර නොමැත. තේ කර්මාන්ත ශාලාවේ යන්ත්‍ර සූත්‍රද වටිනා උපකරණ සියල්ලද ගින්නට හසුවී තිබේ.

තේ කර්මාන්ත ශාලාවට අයත් ලොරි රථ පහක් ද ගින්නෙන් විනාශ වී තිබේ. එම ලොරි රථ තේ කර්මාන්ත ශාලාව අසළ නවතා තිබූ ඒවාය. ගින්න හටගත් අවස්ථාවේ දී ගම්වාසීන් ද පසුව රත්නපුර ගිනි නිවන ඒකකය ද ගින්න නිවීමට උත්සහා ගත්තද පවතින සුළඟ නිසා ගින්න පැතිර ගොස් ඇතැයි ප්‍රදේශවාසීන් පවසති උදෑසන හය පමණ වන තෙක් මෙම කර්මාන්ත ශාලාව ගිනි ගනිමින් තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සේනක වීරසිංහ මහතා ද මෙම ගින්න හටගත් කර්මාන්ත ශාලාව නිරීක්ෂණය කළේය. රත්නපුර පොලිසිය පරීක්ෂණ පවත්වයි. රත්නපුර අපරාධ ස්ථානාගාර (සොකෝ) නිලධාරීන් ද පරීක්ෂණ සඳහා කැඳවා තිබේ.
කහවත්ත – සමරවීර නිරෝෂණ

advertistmentadvertistment
advertistmentadvertistment