ඉන්දීය ජාතිකයකු සොරකමකට වසර 58කට පසු අත්අඩංගුවට

753

වසර 58කට පමණ පෙර 1965 වසරේදී නිවෙසකින් මී හරකුන් දෙදෙනකු හා වසු පැටවකු සොරාගත් පුද්ගලයකු දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පොලිස් ස්ථානයක් මගින් ඉකුත් සතියේදී නැවත අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි. වසර 58කට පෙර සිදු කළ හරක් සොරකමකට සොරා ගත් තැනැත්තා නොබෝදා අත්අඩංගුවට ගැනීම ඉන්දීය මාධ්‍යවලට සුවිශේෂී පුවතක් වී ඇති අතර එම මාධ්‍ය වාර්තාවලට අනුව වයස අවුරුදු 20ක තරුණයකුව සිටියදී 1965 වසරේදී තවත් අයකු සමග එක්ව “මෙහ්කර්” නමැති ගම්මානයේ තිබෙන නිවෙසකට අයත් මී හරකුන් දෙදෙනකු හා වසු පැටවකු සොරා ගත් ගණපති විට්ටාල් වැගෝරේ නමැති දැනට 74 හැවිරිදි වියෙහි පසු වන තැනැත්තා මෙසේ පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

කෙසේ වුවද අදාළ තැනැත්තා උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුගේ වියපත් බව සළකා උසාවිය විසින් ඔහුව ඇප මත මුදාහැර තිබේ. මෙසේ ඇප මත මුදා හැරුණු විට්ටාල් නැමැත්තා 1965 වසරේදීද එම සොරකමට ඔහුගේ සහයකයා සමග පොලිස් අත්අඩංගුවට පත්ව සිට ඇප මත මුදාහැර සිටි අයෙකි. එම සොරකම සිදු කිරීමෙන් පසු සොරකම් කළ මී හරකුන්ගේ අයිතිකරු විසින් කර්ණාටක ප්‍රාන්තයේ බිඩාර් පොලිසියේ ගොණු කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විට්ටාල් හා ඔහුගේ සහයකයා වූ චන්දර් නැමැත්තා අත්අඩංගුවට ගෙන ඔවුන් සොරකම් කළ මී හරකුන් දෙදෙනා හා වසු පැටවා නැවත අයිතිකරුට භාර දී තිබිණි. එහෙත් ඇප මත මුදා හැරීමෙන් පසු විට්ටාල් සිය සහයකයා සමග උතුරු ඉන්දියාවේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයට පැන ගොස් ඇති අතර එසේ කර ඇත්තේ ඔහු විසින් සිදු කළ හරක් සොරකම සම්බන්ධ නඩුව දිගු කලක් මුළුල්ලේ උසාවියේ විභාග වෙමින් පවතින වාතාවරණයක් තුළ බව හෙළි වී තිබේ. මේ අනුව බිඩාර් පොලිසිය විසින් පසුගියදා සිය පොලිස් ස්ථානය තුළ දිගුකලක් මුළුල්ලේ ඇදෙමින් පැවති නඩු ලැයිස්තුවේ ඇති නඩු එකින් එක නැවත විභාග කිරීම ඇරඹීමෙන් පසු මෙම හරක් සොරකමද නැවත කරලියට පැමිණ ඇති බව හෙළි වී තිබේ. මෙම සොරකම සම්බන්ධව පැමිණිලි කර තිබූ කුල්කර්නි නැමැත්තා මෙන්ම සොරකමට සහය වූ චන්දර් නැමැත්තාද මේ වන විට මියගොස් ඇති බව බිඩාර් පොලිසිය පවසයි. මෙම හරක් සොරකම් නඩුව බිඩාර් පොලිසියේ පවතින දිගුම කාලයක් විභාග වෙමින් පැවති නඩුව බව හෙළි වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment