ඉන්ධන නැතිව වැලි ගන්න ටිපර් එන්නේ නෑ – විසිදාහකගේ  බත් පතටත් වැලි

187

“අවුරුදු ගාණක් දරු පවුල රැක්කෙ මේ රස්සාව කරලා. අපිට ඉඩකඩම් නෑ, කුඹුරු නෑ. වෙන ආදායම් මාර්ග නෑ. වැලිවලට පින් සිද්ධවෙන්න තමයි අපි කාල ඇඳලා හිටියෙ. මේ පිංගුත්තර ආණ්ඩුව අපිට ඒකත් නැති කළා.”

මේ විලාපය නඟන්නේ කන්තලේ, සේරුවිල, මූතූර්, නීලපොල, සූරියපුර, චිත්තම්පෙට්ටි, සන්කෙන් ලංකා, අල්ල පාලම යන තොටුපොළවල් ඇතුළු ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලි ආශ්‍රිත තොටුපොළවල රැකියාව කරමින් තම ජීවිකාව කරගෙන ගිය දහස් ගණනක් වූ අහිංසක ජනතාව ය.

වැලි තොටුපොළවල වැලි ගොඩදාන්නන්, පටවන්නන්, ටිපර් අයිතිකරුවන්, රියැදුරන්, වැලි තොග රැස්කරන්නන්, තැරැව්කරුවන් ආදී 20,000 කට ආසන්න පිරිසක් මෙලෙස පාරට වැටී ඇති බැව් ඔවුහු පවසති.

ඉන්ධන අර්බුදය කිය කියා අපිට හැමදාම මෙහෙම බාලගෙන ඉන්න බෑ. ළමයි බඩගිනියි කියලා කෑ ගහනකොට උන්ගේ කටවල්වලට වැලි දාන්නයි අපිට දැන් වෙලා තියෙන්නේ. මේකට අද හෙට විසඳුමක් ලැබෙන පාටක් නෑ. ඕනෑම මොහොතක පවුල් පිටින් අපි පාරට බහින්න සූදානම්. නැතිනම් මැරෙන්න වුණත් මහ එවුන්ගේ මන්දිර වටලන්න අපි පසුබට වෙන්නේ නෑ.

දවස් තුන හතරක් රස්සාවට ගියේ නැත්නම් සේරම බඩ ගින්නේ. ඉන්ධන නැතිව ටිපර් එන්නේ නෑ. වැලි ගෙනියන්නේ නෑ. අපිට රස්සාව නෑ. මේ හැත්ත බුරුත්ත මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්නේ. මේ ප්‍රශ්නයෙන් වැඩිපුරම දුක් විඳින්නේ වැලි ගොඩදාන පිරිසයි. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ අපිට මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් නැති වුණොත් දරුවන් එක්ක ගඟට පනින්න සිදුවෙන දවස වැඩි ඈතක නෑ.”

කන්තලේ – ඩබ්. එම්. වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment