ඉපදී සතියෙන් අම්මා නිවුන් දරුවන් විකුණලා

247

රු. 25000 බැගින් දරුවන් ගත් කාන්තාවෝත් අත්අඩංගුවට

ඉපදී සතියකින් තම නිවුන් දරු දෙදෙනා මුදලට අලෙවි කළ පිළියන්දල ප්‍රදේශයේ මවක් සහ රුපියල් 25000 බැගින් මුදල් ලබා දී එම දරුවන් මිලදී ගෙන තිබූ කාන්තාවන් දෙදෙනා ද ඊයේ (07 දා) උදේ අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය පවසයි.

මව රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර දරුවන් මිලදී ගත් කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයකු රාගම දී ද අනෙකා කැලණිය ප්‍රදේශයේ දී ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

රාගම ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයට පැමිණ එම නිවසේම නවාතැන් ගෙන සිටි අදාළ මව මීට සතියකට ඉහත දරු ප්‍රසූතිය සඳහා බොරැල්ල කාසල් රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී නිවුන් දරුවන් දෙදෙනකු ප්‍රසූතිය කර ඇත. තම පළමු විවාහයෙන් වෙන්ව ඇති ඇයට එම විවාහයෙන් තවත් දරු දෙදෙනකු සිටින බවත් ඔවුන් ඇයගේ මවගේ භාරයේ සිටින බවත් මෙහිදී පොලිසියට අනාවරණය වී ඇත. ඇය විසින් අලෙවි කරන ලද නිවුන් දරු දෙදෙනාගේ පියා පිළිබඳව ඇය නිසි තොරතුරක් මෙතෙක් ලබා දී නැති බව ද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති අදාළ මව සහ පොලිස් භාරයේ පසුවන නිවුන් දරු දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීමට මේ වන විට රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

බස්නාහිර උතුර පළාත් භාර වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ප්‍රයන්ත ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ කැලණි කොට්ඨාස භාර පොලිස් අධිකාරි බැසිල් ක්‍රශාන්ත මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අර්ජුන කොඩිකාර මහතාගේ ප්‍රධානත්වයෙන් රාගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම මත රාගම පොලිසියේ කාන්තා හා ළමා කාර්යාන්ශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂිකා වත්සලා කුමාරසිංහ, උප පොලිස් පරීක්ෂක කසුන් සුභාෂණ, සැරයන්වරුන් වන කරුණාරත්න (67675), සැරයන් උපනන්ද (27096), පොලිස් කොස්තාපල්වරුන් වන (67675) මහින්ද සහ (16849) කුමාර යන නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වති.

සැකකාරියන් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බී. ටී. කේ ජාඇල – වත්තල සරත් චින්තක

advertistmentadvertistment
advertistmentadvertistment