ඉරෙන් සුළඟෙන් හදමු විදුලිය වියදමත් හරි අඩුයි… පුනර්ජනනීය පාරෙන් යමු

159

බලශක්තියේ මිල ආර්ථික වර්ධන වේගයට සෘජුවම බලපානවා. ඇයි අපි එහෙම කියන්නේ. ආයෝජකයෙක් රටට ඇතුළු වන විට විශේෂයෙන්ම බලශක්තිය පිළිබඳ සොයා බලනවා නියතයි. ඒ නිසා අඩු මිලට විදුලිය සැපයීම රටක වගකීමක්. අපි බලමු වඩාත්ම ලාභදායී මොකක්ද කියා. විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම මොනවාද කියලා.

ඉරෙන් සුළඟෙන් හදමු විදුලිය වියදමත් හරි අඩුයි… පුනර්ජනනීය පාරෙන් යමු

ජලයෙන් විදුලිය නිෂ්පාදනය කරනවා. ඒක තමයි වඩාත්ම ලාභදායි විදුලි ජනනය. මොකද එහි සාමාන්‍ය වියදම කිලෝ වොට් පැය එකක් සඳහා රුපියල් 3.40 යි. ඊළඟට අපි බලමු ගල් අඟුරු කිලෝ වොට් පැය එකක් නිෂ්පාදනය කිරීමට යන වියදම. එය සාමාන්‍යයෙන් රුපියල් 35යි. ඊට සාපේක්ෂව අපි බලමු ඉන්ධන මගින් විදුලිය නිපදවීමට යන වියදම. ඩීසල් හා නැප්තා භාවිතයෙන් කිලෝවොට් පැය එකක් නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන් රුපියල් සියයක් පමණ වැය වෙනවා. ඒ වගේම විදුලිය නිෂ්පාදන කරන ක්‍රමයක් තමයි සෝලා කියන්නේ. ඒ කියන්නේ සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම. එහි කිලෝ වොට් පැය එකක් සඳහා යන පිරිවැය රුපියල් විසි දෙකක් පමණ වෙනවා. ඒ වගේම සුළං බලයෙන් විදුලිය කිලෝවොට් පැය එකක් නිෂ්පාදනය සඳහා වැය වන මුදල සාමාන්‍යයෙන් රුපියල් විසි හයක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. මේ අනුව අපට පැහැදිලියි ජල විදුලියෙන් පස්සේ වඩාත්ම ලාභදායී විදුලිය නිෂ්පාදනය කරන ක්‍රම වන්නේ සූර්ය බලය හා සුළං බලය කියන එක. ඒ කියන්නේ පුනර්ජනනීය විදුලිය. සාමාන්‍යයෙන් අපේ රටට එක වසරකට ගිගා වොට් පැය පහළොස්දාහක් පමණ අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් ජල විදුලියෙන් වසරකට ගිගාවොට් පැය හාරදහස් පන්සියයක් පමණ නිෂ්පාදනය කළ හැකියි. එවිට තවත් අඩු ගිගාවොට් පැය දහ දහස් පන්සීයයි. අප උත්සුක විය යුත්තේ මෙම විදුලි අවශ්‍යතාවය අඩුවෙන් වියදම් යන සුළං බලයෙන් හා සූර්ය බලයෙන් නිෂ්පාදනය කර ගැනීමටයි. මෙය අපට රටක් ලෙස කළ හැකි දෙයක්. රජයේ ප්‍රතිපත්තියත් 2030 වසර වන විට පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය සියයට හැත්තෑවක මට්ටමකට ගෙන ඒමයි. අපි ඒ ඉලක්කය සපුරා ගනිමු. ශ්‍රී ලංකාවේ වැව්, කලපු හා ජලාශ ආශ්‍රිතව විශාල ප්‍රමාණයේ සෝලා පද්ධති ඉදිකිරීමෙන් ගිගාවොට් පැය ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ ඉංජිනේරුවන්ගේ දැනුම ලබා ගෙන අපි ඒ ඉලක්කය රටක් ලෙස ජය ගනිමු.

විලෝචන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment