පරිසර හිතකාමි ඊ බිලට හුරු වෙමු – රු. කෝටි 87ක් ඉතිරි කරමු

149

“ලයිට් බිල ආවද – ගාණ කීයද” ලංකා විදුලිබල මණ්ඩලයේ මනු කියවන නිලධාරියා ඇස ගැටුණු විගස මෙම පැනය ඔබගේ නිවසේ අය ඔබෙන් අසනවා ඇත. එදා විදුලි බිල ලෙස සෙන්ටිමීටර් දහයක් දිග සෙන්ටිමීටර් අටක් පළල මුද්‍රිත කඩදාසියක් ඔහු විසින් අපට නිකුත් කරන ලදි. මාසයට අදාළව පාවිච්චි කළ විදුලි ඒකක ගණන, බදු සහ පාවිච්චි කළ විදුලිය වෙනුවෙන් මාසයට අදාළව ගෙවිය යුතු මිල එහි සඳහන්ව තිබිණි.

පරිසර හිතකාමි ඊ බිලට හුරු වෙමු - රු. කෝටි 87ක් ඉතිරි කරමු

ඊට අමතරව පසුගිය මාසයට අදාළ දත්ත ද එහි සටහන් වුණි. ස්ථාවර ගාස්තුව, සැපයුම් පිරිවැය, අය ක්‍රමය ( විදුලි ඒකක 1-30 දක්වා අය කළ හැටි, ඒකක 31-60 දක්වා අය කළ ගණන් ආදී වශයෙන්) ආදි විස්තර තිබුණි. නමුත් දැන් එසේ මුද්‍රිත බිලක් නිකුත් කරන්නේ නැත. නමුත් විදුලි පාරිභෝගිකයන් දැනගත යුතු ඔවුන්ගේ බිලට අදාළ සියලුම දත්ත එස්.එම්.එස්. හෝ ඊමේල් මගින් දැනුවත් කිරීමට කටයුතු කරනු ඇත. මුද්‍රිත බිල ලැබුණු කාලයේ අපට ස්ථාවර ගාස්තුව, අය ක්‍රමය, එක් එක් ඒකක කාණ්ඩ යටතේ අය කළ ආකාරය දැන්වූයේ මාසයකට පසුවය. නමුත් ඊබිල් ක්‍රමය හරහා මේ මාසයට අදාළ සියලුම දත්ත විදුලි බල මණ්ඩලය මගින් ක්ෂණිකව ඔබේ දුරකථනයට යොමු කරනු ඇත. එසේ එවන ‘ලිංක්’ එකට ගොස් මුද්‍රිතව ලැබුණා සේම බිලට අදාළ සියලු දත්ත දැක ගත හැකි වනු ඇත. ඒකක එකේ සිට 30 දක්වා අය කළේ කිනම් ගණනක් යටතේද, ඒකක තිස් එකේ සිට හැට දක්වා අය කළේ කෙසේද, ඒකක හැට එකේ සිට අනූව දක්වා පාවිච්චි කර ඇත්නම් ඒ එම බිල හැදුණු පිළිවෙළ කෙබඳු ද, ඒකක අනූවට වැඩිය පාවිච්චි කර ඇත්නම් ඊට අදාළ බිල සැකසුණේ කෙසේද ආදී කරුණු ඉතාමත් නිරවුල්ව සහ පැහැදිලිව ඊබිලේ සටහන්ව ඇත. මෙහි වැදගත්ම කාරණය වන්නේ මුද්‍රිත බිලක් නිකුත් නොකිරීම නිසා ඉතිරි වන ධනස්කන්ධයයි. සාමාන්‍යයෙන් එක් මුද්‍රිත බිලක් නිකුත් කිරීමට විදුලි බල මණ්ඩලය පසුගිය සමයේ රුපියල් දහයක පමණ වියදමක් දැරුවේය. මේ රටේ විදුලි පාරිභෝගිකයෝ හැත්තෑ තුන් ලක්ෂයක් සිටිති. ඒ අනුව මුද්‍රිත බිල් වෙනුවෙන් දරන මාසික වියදම රුපියල් හත් කෝටි තිස් ලක්ෂයක් වනු ඇත. වාර්ෂිකව එම වියදම (12 න් වැඩි කළ විට) රු.876,000,000කි. එනම් අසූහත් කෝටි හැට ලක්ෂයකි. මුද්‍රිත බිල නිකුත් නොකරන නිසා මේ කෝටි අසූ හතක මුදල දැන් ඉදිරිය. විදුලි බිල ගණනය කරන්නේ පිරිවැය මතය. මුද්‍රිත බිල නිකුත් කරන කාලයේ ඒ බිලට අදාළ මුද්‍රිත වියදම ද දැරුවේ පාරිභෝගිකයාය. මුද්‍රිත බිලක් නිකුත් නොකිරීමේ වාසිය ද ඒ අනුව පාරිභෝගිකයන්ට හිමිවනු ඇත. කඩදාසි හදන්නේ ගස්වලින් ගන්නා අමුද්‍රව්‍යවලිනි. තර්කානුකූලව ගත් කල මුද්‍රිත බිලක් නිකුත් නොකිරීම යනු ගස් කැපීම අධෛර්යවත් කිරීමකි. එනම් පරිසර හිතකාමී පිළිවෙතකි. ඒ නිසා ලෝකයේ අනිත් රටවල ජනතාව මෙන්ම අපි ද පරිසරය ද රැකගෙන තාක්ෂණය ඔස්සේ ඉදිරියට යමු.

ජී.එන්.ඩී. රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment