උතුර දකුණ බටහිර හා නැගෙනහිර සිව්දිගින් රැගෙන ආ සංදේශ නිධන් වුණ අභිමානවත් නිදහස් මන්දිරය

92
‘අපි නැවතත් නිදහස් වූ එක් ජාතියක් වීමු. ඒ නිදහස අප ලබා තිබෙන්නේ නැවත වරක් මේ රට අප සිත්හි ඇති අභිලාෂයට අනුව ගොඩනගා ගැනීමටය. අපි තෝරාගත් නායකයා, ජාතියේ පියාණන් වෙත අපි අපේ මව්බිම පුනරුත්ථාපනයට පත් කිරීම පිණිස සහයෝගයෙන්, මහත් ආත්ම ධෛර්යයෙන් හා මහත් චිත්ත ධෛර්යයෙන් ක්‍රියාකරන බවට පොරොන්දුවක් රැගෙන එන්නෙමු. ඈත අතීතයෙන් අපට බෝවී ඇති නපුරු දේ විනාශ කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

‘ප්‍රීති වෙනු අපි ජයගනිමු’ යන පැරණි ඇතැම් ස්වරුන්ගේ සටන් පාඨය අපද හඬගා කියමු… සනාථ කරමු.

1948 පෙබරවාරි 4 වැනිදා ප.ව. 4.10 ට පමණ නිදහස් චතුරශ්‍රය වටා රැස්ව සිටි මහජනතාවගේ අත්පොළසන් මධ්‍යයේ චතුරශ්‍රයට ළඟා වූ ධාවකයන් හතරදෙනා වේදිකාව කරා දිව විත් තමන් විසින් දිවයිනේ සිව්කොනින් ගෙනෙන ලද පණිවුඩවලින් සඳහන් කළ කාරණයක් භාර දුන්හ. ඉක්බිති ඒ තරුණයෝ පළමුව සිංහලෙන්ද, දෙවනුව අරාබි භාෂාවෙන්ද, තෙවනුව ඉංග්‍රීසියෙන්ද, සිව්වනුව දෙමළෙන්ද සන්දේශය කියවා එය අගමැතිතුමාට පිළිගැන් වූහ. ඒවා එකින් එක රැගෙන නිදන් කිරීම සඳහා පිළියෙළ කරන ලද අලංකාර පෙට්ටියක තැන්පත් කළේය. එම පණිවුඩවල අන්තර්ගත වූ සංදේශය ඉහතින් දැක්වේ.

ඉක්බිතිව සංචනාද පවත්වමින් මඟුල් බෙර වයද්දී අගමැතිතුමා සංදේශ තැන්පත් කරන ලද පෙට්ටිය නිදන් කිරීමෙන් පසු නිදහස් අනුස්මරණ ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබුවේය. මේ සමගම පරාදීනත්වයේ අවුරුදු 133 සිහිකිරීම වශයෙන් මුදාහරින ලද පරවියන් 133 දෙනෙකු දිවයිනේ හතර දිග් භාගය බලා පියාසර කළෝය. නිදහස් මන්දිරයට මුල්ගල තැබීමෙන් පසු වේදිකාවට පැමිණි මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අප අගමැතිතුමා ස්වකීය කතාව පැවැත්වූවේය. නිදහස් මන්දිරය මුල්ගල තැබීම එදා මුද්‍රිත මාධ්‍යයට එසේ වාර්තාකර තිබිණි. (1948 පෙබරවාරි 05 දිනමිණ)

වසර 500 කට අධික කාලයක අප රට නතුව තිබූ විදේශික ආධිපත්‍යයෙන් නිදහසේ අභිමානය උරුම කළා වූ 1948 පෙබරවාරි 4 වැනිදා එම පෞඪ වූ නිදහස් මංගලෝත්සවය පැවැත්වීමට ටොරිංටන් චතුරස්‍රය තෝරාගනු ලැබීය. ඒ සමගම එම නිදහස අනාගත පරපුරට සිහිගන්වනු උදෙසා නිදහස් සමරු ස්මාරකයක් ඉදිකිරීමට ඩී. එස්. සේනානායක අගමැතිතුමන් තීරණය කළේය. පෞඪ ඉතිහාසයේ අභිමානය කැටිකරගෙන නිර්මාණය කළ යුතු එම නිදහස් ස්මාරකය, එසේ නැතිනම් අද අප දකින නිදහස් මන්දිරය තැනීමේ වගකීම අගමැතිවරයා භාර කළේ එවක ගමනාගමන හා ප්‍රසිද්ධ කර්මාන්ත ඇමැතිවරයාව සිටි ජෝන් කොතලාවල මහතාටය. ඔහු එම කාර්ය රජයේ ප්‍රධාන නිර්මාණ ශිල්පියා වූ ටී. එම්. වයන් ජෝන්ස් මහතාට පැවරීය. ඔහු ඇතුළු අට දෙනකුට මෙම නිදහස් ස්මාරකය තැනීමට සැලැස්ම සැකසීම භාර වූයේය. වයන් ජෝන්ස් (සභාපති), නියෝජ්‍ය ගෘහ නිර්මාණ ශිල්පී එෆ්. එච්. එම්. බිල්මෝරියා, විශ්වවිද්‍යාලයේ ගෘහ නිර්මාණ ශිල්පී ෂර්ලි ද අල්විස්, කොළඹ නාගරික සැලසුම්කරු ඔලිවර් වීරසිංහ, සහකාර නිර්මාණ ශිල්පීන් වූ එම්. ජේ. බිල්මෝරියා, ජේ. සමරසේකර, එම්. බී. මොරේනා යන මහත්වරු කමිටු සාමාජිකයෝ වූහ. කන්ද උඩරට ශ්‍රී විභූතිය යළිදු සිහිපත් කරමින් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේ කලාත්මක අංග නිර්මාණ සැලැස්ම ද අදාළ කර ගනිමින් ඉදිරිපත් කර තිබූ නිර්මාණ සැලැස්ම අගමැතිවරයාගේ සිත් ගත්තේය.

එදා මෙම මන්දිරය තැනීමට යෝජනා වූ ටොරිංටන් චතුරශ්‍ර භූමියේ වැඩි කොටසක් තුරඟ තරග සමාජයට අයත්ව තිබිණි. එම භූමිය එකල ලක්‍ෂ පහක මුදලක් ගෙවා තුරඟ තරග සමාජයෙන් මිලදී ගෙන තිබේ.

1948 පෙබරවාරි 4 වැනිදා නිදහස් මන්දිරය තැනීමට මංගල පස් පිඬැල්ල කැපුවේ ඩී. එස්. සේනානායක අගමැතිතුමන්ය. ජෝන් කොතලාවල අමාත්‍යවරයාද නිදන් වස්තු තැන්පත් කිරීමේ කර්තව්‍යයට එක්වූයේය.

මෙහි ඉහළ මාලයේ 432 කට එකවර අසුන් ගත හැකි පරිදි ද බිම් මහල වර්ග අඩි 16,000 කි.

ගොඩනැඟිල්ල ආශ්‍රිතව ක්‍රීඩාංගණයක් ද ස්ථාපිත විය. නිදහස් මන්දිරයේ සිට අනාගතයේ නිදහස් දින පෙළපාලි උත්සව නැරඹීමට හැකිවන පරිදි ධාවන පථයක් ද සහිත මෙම ක්‍රීඩා පිටිය හා එහි තීරු අටක මංතීරු ස්ථාපිත කෙරුණි. ඊට එකල රුපියල් දස ලක්‍ෂයක මුදලක් ද වැය වී තිබේ. නිදහස් මන්දිර ගොඩනැඟිල්ල මහනුවර මඟුල් මඩුවට වඩා විශාලය. දේශීය කැටයම් සහිත ගෘහ නිර්මාණ වහලය හා කණු ද යුක්තව චතුරස්‍රාකාර අංගවලින් යුක්තව නිර්මාණය වූයේය. ප්‍රවේශවීමට ප්‍රවේශ ස්ථාන දෙකකි. එකක් කොරවක්ගලින් යුතු පස්පෙළකි. ද්වාර සතර දෙසින් සිතා රූප පෙළ 60ක් යුක්තය. චතුරස්‍රාකාර කුලුනු 60 ක්ද වෙයි. කුලුන මත අන්තර්ගත කැටයම්වල නාරිලතාවල පංචනාරි ගැටය නෙළුම්මල භේරුණ්ඩ පක්‍ෂියා ද ඒ අතර වේ.

උතුර දකුණ බටහිර හා නැගෙනහිර සිව්දිගින් රැගෙන ආ සංදේශ නිධන් වුණ අභිමානවත් නිදහස් මන්දිරය

වහලයේ ඉහළ පිත්තලෙන් නිර්මිත රන් ආලේපිත කොත් කැරැලි දෙකක් ද ඔබට දැකිය හැකිය. එමෙන්ම මෙහි ඉහළ මාලයේ බුදුන් වහන්සේලාගේ ලංකා ගමනය හා විජයාවතරණය නිරූපිත සිතුවම් ද යුක්ත විය. අද මෙම නිදහස් මන්දිරයේ බිම් මහලේ නිදහස් අනුස්මරණ කෞතුකාගාරයක් ද පිහිටුවා තිබේ. 2008 එය පිහිටුවනු ලැබුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සාමූහිකත්ව උත්සාහයක මහඟු ප්‍රතිඵලයක් ලෙසිනි.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයෙන් පසු එතුමාගේ පිළිරුවද මෙම ස්ථානයේ ස්ථාපිත වූයේය. තිස්ස රණසිංහ ශිල්පියා විසින් එය නිර්මාණය කෙරිණි. ඒ සමගම නිදහස් මන්දිරයට සිංහ රූප හතරක් ද, තවත් අලංකාර ගෘහ නිර්මාණ අංග ද එක් වූයේය. 1957 පෙබරවාරි 4 වැනිදා නිදහස් මන්දිරය අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට එම දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී ඇති එවක චීන අගමැති චෞ රන් ලැයි මහතා ද සහභාගි වූ බව අතීත වාර්තාවල සඳහන්ය. නිදහස් මන්දිරය ආශ්‍රිත ක්‍රීඩාංගණය 1955 දී විවෘත කර ඇත්තේ ජෝන් කොතලාවල හිටපු අගමැතිවරයා හා ඇමැතිවරයා විසිනි. ක්‍රීඩාව කෙරෙහි ඔහු සුවිශේෂ උනන්දුවක් දැක්වූවකුද වේ.

මෙම ලිපියේ ආරම්භයේදී සංක්‍ෂිප්තව අප සටහන් කළ නිදහස් මන්දිරයේ මහඟු ගලෙහි තැන්පත් කිරීමට දිවයිනේ සතර දිග් භාගයෙන් ගෙනැවිත් අගමැතිවරයාට පිළිගැන්වූ සංදේශනාත්මක වූ සුවිශේෂ සටහනින් මෙම ලිපිය සමාප්ත කරමු. ශුභ මස්තු ‘අපි සිරිලක සිව්දිගින් මෙහි පැමිණියෝ වම්හ. උතුරු කෙළවරේ පොයින්ට් පේදුරු හෙවත් පැරන්තිත්තුරේ, නැගෙනහිර කෙළවරේ මඩකලපුව, දකුණු කෙළවරේ දෙවුන්දර, බස්නාහිර කොළඹ යන සිව්පුරයේ සිටය අප මෙහි පැමිණියේ. අප දෙපසින් දිවයිනේ සෑම පළාතක්ම, ඒවායේ නගරද අපි ස්පර්ශ කළෙමු. අනුරාධපුර පසුකර ගමන් කළ අපි අපේ පැරණි ශිෂ්ටාචාරයේ ශ්‍රී විභූතිය මෙනහි කළෙමු. ලක්දිව අගනුවර වූ කොළඹට සමීපවත්ව වත්මන දුක්කම් කටොලු අප සිතට කා වැදුණි. ගල් ඔය වැනි දැනට ඇරඹී තිබෙන විශාල වාරිකර්මාන්තවලට සිත යොමු කළ අප නෙතට අපේ අනාගත ශ්‍රී සමෘද්ධිය පිළිබිඹුවක් දිස්විය. මෙරට සෑම ජාතියකිනුත් පංතියකිනුත් අවුත් ඔබ සොයා දිවා රෑ දෙකෙහි වන ළැහැබ්, ගම් නියම්ගම්, කඳු හෙල් ඔස්සේ ගමන් කළ අපි ජාතියේ පුරෝගාමියා වූ ඔබතුමා වෙත ජාතිකාවෘද්ධිය පිළිබඳ පොදු කාර්මයෙහිලා අපේ ආත්ම පරිත්‍යාගයත්, සහයෝගීතාවත් බැති සිතින් පිරිනමමු.

ඉසුර ලකිත නිශ්ශංක – (පෙර ලියන ලද්දකි)

advertistmentadvertistment
advertistmentadvertistment