එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් වන්දි ඉල්ලා අද සිංගප්පූරු උසාවියේ නඩු පවරයි

134

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළදී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මුහුදු පරිසරයට සිදුවූ හානියට වන්දි ඉල්ලා අද (24 දා) සිංගප්පූරු වාණිජ මහාධිකරණය හමුවේ එම නෞකාව හිමි සමාගමට හා රක්‍ෂණ සමාගමට එරෙහිව නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් රැසක් හා තවත් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබියදී 2021 මැයි 20 වැනිදා ශ්‍රී ලංකාවට මුහුදු සැතපුම් 9.30 කට ඔබ්බෙන් එම නැව ගිනි ගැනීමෙන් නෞකාවේ පටවා තිබූ විෂ රසායනික ද්‍රව්‍ය මෙන්ම ඉන්ධන තොගයද මුහුදු ජලයට එක්විය. රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන ලද රස පරීක්‍ෂණ වාර්තා මෙන්ම ජල ජීවීන්ට හා මුහුදු පරිසරයට සිදුවී ඇති හානිය පිළිබඳව 39 දෙනකුගෙන් සමන්විත ස්වාධීන විද්වත් මණ්ඩලයක් ඉදිරිපත් කළ තක්සේරු වාර්තාද එම නඩු ගොනුවට එක් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

එම නෞකාවේ කපිතාන්වරයා ලෙස කටයුතු කළ යුක්රේන ජාතිකයාට එරෙහිව හා එම නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත ලෙස කටයුතු කළ පෞද්ගලික සමාගමේ (ශ්‍රී ලංකා) අධ්‍යක්‍ෂ මණ්ඩලය ඇතුළු විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් සමුද්‍ර දූෂණ වැළැක්වීමේ පනත යටතේ කොළඹ ප්‍රධාන මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

2022 වසරේ මැද භාගයේදී පැවරූ එම නඩුව එම අධිකරණය හමුවේ මේ වන විටත් විභාග වෙමින් තිබේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් සිදුවූ පාරිසරික හානිය සහ කැස්බෑවන් 176 දෙනකු ඩොල්ෆින් මසුන්, තල්මසුන් 4 දෙනකු ඒ වන විට මියගොස් ඇතැයි නීතිපතිවරයා විසින් 2021 වසරේ ජුලි 30 වැනිදා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment