ඖෂධ සහ සෞඛ්‍ය උපකරණවලටත් වැට් වදී? – සමස්ත ලංකා වෛද්‍ය නිලධාරි සංගමයේ ලේකම්

94

25% කින් මිල ඉහළ යෑමේ අවදානමක්

වැඩි කළ වැට් බද්දට සාපේක්‍ෂව ඖෂධ සහ උපකරණවල මිල 25% කින් පමණ ඉහළ යෑමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ‘දිවයින’ ට ඊයේ (02 දා) පැවසීය.

පසුගිය සමයේ ද ඖෂධ සහ ඒ ආශ්‍රිත උපකරණවල මිල ගණන් කීප ගුණයකින් ඉහළ දමා තිබූ අතර අලුතින් වැඩිකළ වැට් බද්දට අනුව එය තවදුරටත් ඉහළ යෑම නිසා රෝගීන් දැඩි අපහසුතාවට පත්වනු ඇතැයි ද හෙතෙම පැවසීය.

ලොව සංවර්ධිත රටවල් දළ දේශීය නිෂ්පාදනයෙන් 10% ක් සෞඛ්‍යයට වෙන් කළත් එය ශ්‍රී ලංකාවේ සෑම වසරකටම 3% ක් හෝ 4% ක් පමණ වන බව ද ඉහළ යන ජීවන වියදමත් සමග රෝගවලට ගොදුරුවන ජනතාවට සෞඛ්‍ය සේවා ලබාගැනීමට ඉතාමත් අපහසු වසරක් ලෙස 2024 නම් කළ හැකි බව ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා කියා සිටියේය.

පවතින තත්ත්වය හමුවේ බෝ නොවන රෝග වන හෘදයාබාධ, අධිරුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගවලින් පෙළෙන මෙරට රෝගීන් විශාල පිරිසක් ඖෂධ ගැනීම අත්හැර ඇති බැවින් එය රටක් ලෙස බරපතළ සෞඛ්‍ය අර්බුදයක් වනු ඇතැයි ද වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment