කටුකැලෙන් නැග එන ආගමික සමගිය

1047

ආගමික සංහිඳියාව යනු ලෝක ව්‍යාප්ත ආචාරධර්මයක් නම්, එම ආචාරධර්මයට දායක වීමේ වර්තමාන පුරෝගාමියකු ලෙස මහනුවර කටුකැලේ ජුම්මා ඉස්ලාමීය පල්ලිය හැඳින්විය යුතුය. අන්තර්ජාලය මගින් අර්ථ නිරූපණය කරන පරිදි ජුම්මා යනුවෙන් හැඳින්වෙන්නේ දේව නමස්කාරය සඳහා වූ ශුද්ධ වූ සිකුරාදා දිනයයි. අපේ අදහස වැරදි නම් අපේ හිතවත් ඉස්ලාමීය සහෝදරයන් සහ සහෝදරියන් අප නිවැරදි කොට දැනුවත් කළ යුතුය. සිකුරාදා දවසේ කරන යාඥාව ඉස්ලාම් භක්තිකයන්ට ඉතා වැදගත්ය. අප දන්නා පරිදි සෑම ඉස්ලාම් භක්තිකයෙක්ම දිනකට පස් වතාවක් දෙවියන්ට යාඥා කරයි. යුරෝපයේ දියුණු රටවල පාරවල් දෙපස යාඥාව සඳහා වූ විශේෂ කුටි ඉදිකොට ඇති අතර එමගින් මහ මග සිටින ඉස්ලාමීයයාට වුවද ස්වකීය දේව විශ්වාසය වෙනුවෙන් ඇති කැපවීම ඉටුකළ හැකිය. මෙය අමතර කතාවකි. මහනුවර කටුකැලේ ජුම්මා පල්ලිය තුළ ත්‍රිපිටක අභිධර්මය සහිත බුදු දහම ඉගැන්වීම ආරම්භ කර තිබේ. සමහරවිට ලෝක ඉතිහාසයේ කිසියම් ආගමික නිකායක් විසින් වෙනත් ආගමක් උගන්වන ප්‍රථම අවස්ථාව මෙය විය යුතුය. කටුකැලේ ජුම්මා පල්ලියේ බුදු දහම ඉගැන්වීමේ කටයුතු සඳහා බෞද්ධ භික්ෂුන් වහන්සේ සම්බන්ධ වී සිටිති. මෙලොව සිටින සෑම කෙනෙක්ම ස්වකීය මව් භාෂාවට අමතරව තවත් භාෂා එකක් හෝ වැඩි ගණනක් දැනගැනීම වැදගත්ය. එසේම මෙලොව සිටින සෑම කෙනෙක්ම තමන් අදහන ආගමට අමතරව තම රටේ භාවිත කෙරෙන සෙසු ආගම් එකක් හෝ කිහිපයක් ගැන ගැඹුරින් දැනසිටීම වැදගත්ය. දැනුම යනු හදවත් යා කරන පාලමකි. උතුරේ දෙමළ ජනයා සිංහල බසත් දකුණේ සිංහලයා දෙමළ බසත් දැනසිටියේ නම් ප්‍රභාකරන් කිසි කලෙකත් මතු නොවන බවත් යම්කිසි විදියකින් ඔහු මතුවූයේ නම් දෙමළ ජනයා එක්වී සැණෙකින් ඔහු පාගා සමතලා කර දමන බවටත් මතයක් මේ රටේ ඇතැම් විද්වත්හු දරති. මේ මිනිස්සු වූකලී ජාතික සහ ආගමික සංහිඳියාව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ පනත යටතේ බිස්නස් එකක් ලෙස ලියාපදිංචි කොට පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධානවල අයිතිකාරයන් නොව රට තුළ ලේ වැගිරෙන අයුරු හදවතින්ම ප්‍රතික්ෂේප කරන අය වෙති.

දේව වාදය සහ අදේව වාදය යනුවෙන් සංකල්ප දෙකක් ලෝකයෙහි ඇත. සමහරු දෙවියන් විශ්වාස කරන අතර තවත් සමහරු දෙවියන් විශ්වාස නොකරති. මේ පාර්ශ්ව දෙකට අභියෝග කිරීම අපගේ අවශ්‍යතාව නොවේ. හැබැයි සාපේක්ෂව බලන කල මෙලොව සිටින අදේවවාදීන්ගේ ප්‍රමාණය සමස්ත ලෝකවාසී ජනතාවගෙන් 0.001% ටත් වඩා අඩුය. එසේ නම් මෙලොව සිටින වැඩි පිරිස දෙවියන් වහන්සේගේ සර්වබලධාරීත්වය හෝ ආගම් වක්තෘවරයකුගේ මග පෙන්වීම යටතේ හෝ ජීවත්වීමටත් නොඑසේ නම් අඩුම ගණනේ එසේ ජීවත්වන බව පෙන්වීමට උත්සාහ කරති. එක මොහොතකින් දෙතුන් ලක්ෂයක ජනගහනයක් එකම තැනකට කැඳවීමට දේශපාලනඥයාට නොහැක. එහෙත් එම මනුෂ්‍යයන් ගණන කිසිදු ආමන්ත්‍රණයකින් තොරව එක තැනකට කැඳවීමට දේව විශ්වාසයට පුළුවන. ඉන්දියාවේ තිරුපති කෝවිලේ විශේෂ ආගමික අවස්ථාවක් පැවැත්වෙන බවට ආරංචියක් ලද වහාම අඩුම ගණනේ බැතිමත්තු පන්ලක්ෂයකට වඩා එතැනට රැස්වෙති. වතිකානයේ කතෝලික සිද්ධස්ථානයට පන්ලක්ෂයක ජනගහනයක් රැස් කිරීමට ඉතා සුළු මොහොතකදී හැකි නමුදු එබඳු පිරිසක් රැස්කර ගැනීමට ඉඩකඩක් එහි නොමැත. එබැවින් කතෝලික බැතිමත් ජනයා වතිකානයේත්, ඉතාලියේත් රැස්වී අදාළ ආගමික අවස්ථාව සඳහා පන්ලක්ෂයක සහභාගීත්වය පූරණය කර ගනිති. මෙහිදී අප තේරුම් කරගත යුතු කාරණාව නම් ආගමක ඇති බලගතුභාවයයි. කිසිවකු විසින් තවත් කිසිවකුට පහර දෙද්දී පහර කන මිනිසාගේ තැන් කිහිපයක් ස්පර්ෂ නොකළ යුතුය. ඉන් පළමුවැන්න ඒ මිනිහාගේ ජාතිය ය. දෙවැන්න කුලය ය. තුන්වැන්න ඒ මිනිසාගේ ආගම ය. හතරවැන්න ඒ මිනිසාගේ ප්‍රේමය ය. විරුද්ධවාදියා විසින් මේ තැන්වලට පහර දුන්නොත්, පහරකන්නා මරාගෙන මැරීමට සූදානම්ය.

ශ්‍රී ලංකාව විසින් ජාතිවාදී කෝලාහල කිහිපයක් අත්විඳිනු ලැබ ඇත. මේවා ප්‍රධාන වශයෙන් සිංහල දෙමළ ගැටුම් සහ සිංහල ඉස්ලාමීය ගැටුම් ලෙස අර්ථ නිරූපණය කළ හැකි වෙයි. කොයි ආගමත් අන්තවාදියාගේ අතට ගිය විට වැඩේ සම්පූර්ණයෙන්ම කුණු අල ගොඩක් බවට පත්වෙයි. කුණු අල වලින් ඇමෝනියා සහ මීතේන් යන වායු වර්ග දෙකම නිකුත් වේ. මේ දෙකම මළ ගන්ධස්කාරය ගෙන දෙන වායු වර්ග දෙකක් වෙති. ආගමිකයන් අන්තවාදීන් අතට පත්වූ විට ඉතා නරක ප්‍රතිඵල අත්වෙයි. සහරාන්, ඔසාමා බින් ලාදින්, අබු බකර් අල් බග්දාදී වැනි අය මෙකී අන්තවාදයේ ඉතාම නරක ප්‍රතිඵල වෙති. සමහරුන් ආගමික අන්තවාදය කරන්නේ තමන්ගේ බ්‍රෑන්ඩ් එක දියුණු කරගැනීමට හෝ ව්‍යාපාරයක් ලෙස ගානක් කපා ගැනීමටය. කෙසේ වුවද ඉන්දියාවේ තිබෙන ආගමික අන්තවාදය දෙස බලන විට ශ්‍රී ලංකාව ඉතාම හොඳ තැනක සිටී. ඉන්දියාවේ හින්දු මුස්ලිම් අරගලවලදී දහස් ගණන් ඝාතනය කරනු ලැබේ. පාර්ශ්ව දෙකේම බැතිමතුන් වන්දනාමාන කරන ස්ථාන බලා යන දුම්රියවලට ගිනි තබනු ලැබේ. මේ ඛේදවාචකය ඉතා නපුරුය. මෙවැනි තත්ත්වයන් බලය උපරිමයෙන් යොදා පාලනය කිරීමට ඉන්දියානු ආණ්ඩුව නිරන්තරයෙන් කටයුතු කළත් එම රටේ විශාලත්වය සහ ජනගහනයේ විශාලත්වයට අනුව සාර්ථක ප්‍රතිඵල ලබාගැනීම දුෂ්කරය. කටුකැලේ ඉස්ලාම් පල්ලිය සිය බැතිමතුන්ට බුදුදහම ඉගැන්වීමෙන් කරන්නේ ආගමික මෙහෙවරක් නොව ජාතික මෙහෙවරකි. එබඳු මෙහෙවරක් පන්සලෙන්ද ආරම්භ වේවා.

advertistmentadvertistment
advertistmentadvertistment