මෝල් හිමියන් ගන්නා වී තොග  සහල් කර වෙළෙඳපොළට එනවාද? – මණ්ඩලය ඇහැ ගහගෙන

202

වී අලෙවි මණ්ඩලය වෙතින් ලබා ගන්නා වී තොග මෝල් හිමියන් සහල් කර වෙළෙඳපොළට නිකුත් කරනවාද යන්න පිළිබඳ අධීක්ෂණය කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් ඇමැති මහින්ද අමරවීර මහතා වී අලෙවි මණ්ඩලයට උපදෙස් දී ඇත.

වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග උපයෝගි කර ගනිමින් පසුගිය 12 දා සිට වෙළෙඳපොළ අවශ්‍යතාව පරිදි අවශ්‍ය සහල් තොග නිකුත් කිරීම ආරම්භ කළ බවද ඇමැතිවරයා සඳහන් කරයි. ඒ අනුව ඊයේ පමණක් සතොස සඳහා සහල් මෙටි්‍රක් ටොන් 500ක් සපයනු ලැබූ බවත් ඉදිරි දින කිහිපයට සහල් මෙටි්‍රක් ටොන් 2400ක් සැපයීමට කටයුතු යොදා තිබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මහින්ද අමරවීර මහතා මෙම අදහස් පළ කළේ 12දා සූරියවැව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට සහභාගි වෙමිනි. අඩු ආදායම්ලාභී පවුල් කිහිපයකට ස්වයංරැකියා සඳහා අවශ්‍ය උපකරණ කට්ටල කිහිපයක් ලබා දීම අමාත්‍යවරයා අතින් සිදු වූ අතර එහිදී වැඩිදුරටත් කතා කරමින් ඇමැතිවරයා මෙසේද පැවසීය.

“යල කන්නයේ ජූනි මාසයේ මුල් සතිය වනවිට අපේක්ෂිත වී අස්වැන්නට වඩා ඉහළ අස්වැන්නක් මෙවර ලබා ගැනීමට හැකි වෙනවා. ජූනි මාසය මුල් සතියේ මේ රටේ වී වගා කර තිබුණේ හෙක්ටයාර් 2,77,000ක් පමණයි. නමුත් දැන් එම ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 05කට ආසන්නයි. පොහොර නොමිලයේ ලබා දුන්න කාලයටත් වඩා මෙවර යල කන්නයේ වී වගා ඉඩම් ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා සහල් හිඟයක් ඇති වේයැයි අනිසි බියක් ඇති කර ගත යුතු නැහැ. වී අලෙවි මණ්ඩලය සතුව ඇති වී තොග සහල් බවට පත් කර සතොස ඇතුළු වෙළෙඳසල් ජාලය මගින් මහජනතාවට නිකුත් කිරීම අපි ආරම්භ කළා. ඊයේ දිනයේම විශාල සහල් ප්‍රමාණයක් සතොසට නිකුත් කළා.

රටට අවශ්‍ය තරම් සහල් නිපදවීමට අවශ්‍ය වී තොග රජය සහ පෞද්ගලික අංශය සතුව තිබෙනවා. ඒ නිසා සහල් හිඟයක් ඇතිවේ යැයි අනියත බියක් ඇති කරගත යුතු නැහැ.”

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment