රාජ්‍ය බැංකු දෙක තෙල් සංස්ථාවට හා ලංවිමට ණය නොදෙයි

223

ආයතන දෙකම දැඩි මූල්‍ය අර්බුදයක
විදුලි බිල වැඩි කරන්නැත්නම් කෝටි 10800 ක

ණය තෙල් සංස්ථාවට ගෙවන්න බෑ – ලංවිම සභාපති කියයි

රාජ්‍ය බැංකු දෙකක් මගින් තෙල් සංස්ථාවට සහ ලංකා විදුලිබල මණ්ඩලයට ණය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම නිසා ආයතන දෙකම බරපතළ මූල්‍ය අර්බුදයකට ලක්ව තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය බලාගාර සඳහා ලබාගත් රුපියල් කෝටි 10,800 (බිලියන 108) ක හිඟ ණය මුදල වහා තෙල් සංස්ථාවට පියවන ලෙස සංස්ථාව මේ වනවිටත් ලංවිමට දැනුම්දී ඇත.

එම හිඟ ණය ප්‍රමාණය වහා තෙල් සංස්ථාවට ලබා නොදුනහොත් රටට අවශ්‍ය ඉන්ධන මිලදී ගැනීමට මුදල් නොමැතිවීම නිසා තෙල් සංස්ථාව මෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන දෙකම බරපතළ ලෙස කඩාවැටීමට ලක්විය හැකි යැයි ලංකා ඛනිජ තෙල් සංස්ථා කළමනාකරණ අධ්‍යක්ෂ සුසන්ත සිල්වා මහතා කියා සිටී.

රාජ්‍ය සමාගමක් ලෙස විදුලිබල අවශ්‍යතාව සපුරාලීම සඳහා අවශ්‍ය සහාය මණ්ඩලයට ලබාදීමට බැදී සිටියත් අදාළ හිඟ ණය මුදල පියවීමට ලංවිම කටයුතු නොකළහොත් ඉන්ධන මිලදී ගැනීමට හා පිරිපහදුව දිගටම ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇතැයි ද ඒ මහතා කීය.

මෙම ණය මුදල පියවීමට පියවර ගන්නේදැයි ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් මහතාගෙන් ‘දිවයින’ කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ විදුලි ගාස්තු ඉහළ නොදමන්නේ නම් අදාළ ණය පියවීමට නොහැකි වන බවයි. බලාගාර සඳහා තෙල් සංස්ථාව තවදුරටත් ණය පදනම මත ලංවිමට ඉන්ධන ලබා නොදුනහොත් දෛනික විදුලි කප්පාදුව තව පැය ගණනක් වැඩි කිරීම හැර වෙන කිසිම විකල්පයක් නොමැති බව ද ඒ මහතා කීය.

මේ වනවිට රාජ්‍ය බැංකු දෙකම ණය ලබාදීමට නොහැකි බවට දැනුම්දී ඇතැයි ද විදුලි ගාස්තු වැඩි කරන්නේ නම් ඉදිරි මාස දෙකට මුහුණදීම සඳහා ණය ලබාගත හැකි බව ද ලංවිම සභාපතිවරයා පැවසීය.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment